6. 2. 4. 4.
[සුස්සූසති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ධර්‍ම සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
තථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මය දෙසනුලබත් මැ නො අසනු කැමැතියේ වෙයි, කන් යොමු නො කෙරෙයි, දැනගැණුමට සිත නො එළවයි, අනර්‍ත්‍ථය ගන්නේ ය, අර්‍ත්‍ථය බැහැර ලන්නේ ය, ශාසනයට අනනුලෝම ක්‍ෂාන්තියෙන් (ධර්‍මචිත්තයෙන්) සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නො නිසි වෙයි.
මහණෙනි, සකරුණෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නිසි වෙයි. කවර සයෙකින යත්:
තථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මවිනය දෙසනු ලබත් මැ අසනු කැමැති වෙයි, ඇසීමට කන් යොමු කෙරෙයි, දැනගැණීමට සිත් එළවයි, අර්‍ත්‍ථය ගන්නේ ය, අනර්‍ත්‍ථය හරණේ ය, ශාසනයට අනුලොම් වූ ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට භව්‍ය වේ ය යි.
6. 2. 4. 5.
[අප්පහාය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, කරුණු සයක් නො දුරලා, දෘෂ්ටිසම්පත් (සෝවන්මග) පසක් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බත පරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා දෘෂ්ටිසම්පත් සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, ධර්‍ම සයක් දුරු කොට දිට්ඨිසම්පදා පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට දෘෂ්ටිසම්පත් සාක්‍ෂාත් කරන්නට නිසි වේ ය යි.
6. 2. 4. 6.
[පහීණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, දිට්ඨිසම්පන්න (සෝවන්) පුද්ගලයාගේ මෙ දහම් සය ප්‍රහීණ ය. කවර සයෙක යත්:
සක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
මහණෙනි, මෙ දහම් සය දිට්ඨිසම්පන්න පුඟුල්හට ප්‍රහීණ යි.
6. 2. 4. 7.
[අභබ්බ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, දිටුසපන් පුඟුල් (සෝවන් පුද්ගල) කරුණු සයක් උපදවන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
සක්කාය දිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
මහණෙනි, දිටුසපන් පුඟුල් මෙ කරුණු සය උපදවන්නට නො පොහොසත් වේ ය යි.
6. 2. 4. 8.
[අභබ්බට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්‍මය කෙරෙහි අගෞරව ඇති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්‍ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල අනාගමනීය (පඤ්චවේර-ද්වාසට්ඨිදිට්ඨි යන) කරුණට ප්‍රත්‍යාගමන (ආපසු පැමිණීම) කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල (කාමාවචර භූමියෙහි) අෂ්ටම භවයක් උපදවන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ අභව්‍යස්ථාන සය යි.
6. 2. 4. 9.
[දුතිය අභබ්බට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් නිත්‍ය විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් ශුභ විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි ධර්‍මයක් ආත්ම විසින් ගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ආනන්තර්‍ය්‍යකර්‍ම කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටි සම්පන්න පුද්ගල (දිට්ඨ සුත මුත සඞ්ඛ්‍යාත) කොතුහලමඞ්ගලයෙන් ශුද්ධිය කරා හැරීමට (පිරිසුදුබව පිළිගැණීමට) අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු සොයන්නට අභව්‍ය වෙයි.
මහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.