6. 2. 3. 9.
[අග්ගධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ අග්රධර්මය වන අර්හත්වය පසක් කරන්නට අභව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ නැතියේ වෙයි, හිරි නැතියේ වෙයි, ඔතප් නැතියේ වෙයි, කුසීත වෙයි, දුෂ්ප්රාඥ (ප්රඥා නැතියේ) වෙයි, කයෙහි දු දිවියෙහි දු සාපේක්ෂ (ආසා ඇතියේ) වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් යුක්ත මහණ අග්රධර්ම සඞ්ඛ්යාත අර්හත්වය පසක් කරන්නට අභව්ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ අග්රධර්ම සඞ්ඛ්යාත අර්හත්ත්වය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ ඇතියේ වෙයි, හිරි ඇතියේ වෙයි, ඔතප් ඇතියේ වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ප්රඥා ඇතියේ වෙයි. කයයෙහිදු දිවියෙහිදු අපේක්ෂා නැතියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ අග්රධර්ම සඞ්ඛ්යාත අර්හත්ත්වය සාක්ෂාත් කරන්නට භව්ය වේ යයි.
6. 2. 3. 10.
[රත්තිදිවස සූත්රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත භික්ෂුහට යම් මැ රාත්රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්මයන්හි හානියක් මැ මුත් වෘද්ධියෙක් කැමැති නො විය යුතු ය. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර (ලදසේ යම්කිසි) චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාරයෙන් නො සතුටු වූයේ මහේච්ඡ වූයේ (මහේච්ඡාවෙන් උපන් ලෝභයෙන්) දුඃඛිත වෙයි, ශ්රද්ධා නැතියේ වෙයි, දුශ්ශීල වෙයි, කුසීත වෙයි, නට සිහි ඇතියේ වෙයි, දුෂ්ප්රාඥ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණහට යම් මැ රාත්රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්මයන්හි හානියෙක් මැ කැමැති විය යුතු යි. වෘද්ධියෙක් නො වේ.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණහට යම් මැ රාත්රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්මයන්හි වෘද්ධියක් මැ මුත් හානියෙක් නො කැමැති වියයුතු. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ මහේච්ඡ නො වූයේ ඉතරෙතරචීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වූයේ දුඃඛිත නො වෙයි, සැදැහැතියේ වෙයි, සිල්වත් වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘති ඇතියේ වෙයි, ප්රඥාවත් වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණහට යම් මැ රාත්රියක් වේවයි, දවසෙක් වේවයි පැමිණේ නම්, කුශලධර්මයන්හි හානියෙක් නො වෙයි, වෘද්ධියෙක් මැ වේ.
අරහත්තවර්ගය තෙවැනි යි.
එහි උද්දානය:
දුක්ඛ සූත්රය, අරහත්ත සූත්රය, උත්තරිමනුස්සධම්ම සූත්රය, සුඛසෝමනස්ස සූත්රය, අධිගම සූත්රය, මහන්තත්ත සූත්රය, නිරය සූත්ර දෙක ය, අග්ගධම්ම සූත්රය, රත්තිදිවස සූත්රය දැයි දශයෙකි.