6. 2. 3. 7.
[පඨම නිරය සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම් එ සෙයින් නිරයෙහි (උපදනේ) වෙයි. කවර සයෙකින යත්:
පණිවා කරණුයේ වෙයි, අයිනාදන් ඇතියේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන සුලුයේ වෙයි, ලමු ආශා ඇතියේ වෙයි, මිසදිටු ඇතියේ වෙයි.
මහණෙනි, මෙ සකරුණෙන් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එ සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහාතැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:
පණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, අල්පෙච්ඡ වෙයි, සම්යග්දෘෂ්ටි ඇතියේ වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්ගයෙහි පිහිටියේ වේ ය යි.
6. 2. 3. 8.
[දුතිය නිරය සූත්රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබනලද්දේ යම්සේ නම් එසේ නිරයෙහි වෙයි. කවර සයෙකින යත්:
මුසවා බණනුයේ වෙයි, පිසුනුබස් ඇතියේ වෙයි, පරොස්බස් ඇතියේ වෙයි, පලප් බණනුයේ වෙයි, ලුබ්ධ (ලෝභී) වෙයි, ප්රගල්භ (අවිනීත) ද වේ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත වූයේ ගෙණෙන ලද්දක් බහාතැබූ සෙයින් නිරයෙහි වේ යයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම්, එසෙයින් ස්වර්ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:
මුසවායෙන් වැළකියේ වෙයි, පිසුනුබසින් වැළැකියේ වෙයි, පරොස්බසින් වැළැකියේ වෙයි, සම්ඵප්රලාපයෙන් වැළැකියේ වෙයි, අලුබ්ධ වෙයි, ප්රගල්භ නො වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබුයේ යම්සේ නම් එසෙයින් ස්වර්ගයෙහි වේ යයි.
6. 2. 3. 9.
[අග්ගධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ අග්රධර්මය වන අර්හත්වය පසක් කරන්නට අභව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ නැතියේ වෙයි, හිරි නැතියේ වෙයි, ඔතප් නැතියේ වෙයි, කුසීත වෙයි, දුෂ්ප්රාඥ (ප්රඥා නැතියේ) වෙයි, කයෙහි දු දිවියෙහි දු සාපේක්ෂ (ආසා ඇතියේ) වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් යුක්ත මහණ අග්රධර්ම සඞ්ඛ්යාත අර්හත්වය පසක් කරන්නට අභව්ය වෙයි.