6. 2. 3. 5.
[අධිගම සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු සයෙකින් යුත් මහණ නො ලද අධිකුශල ධර්මය ලබන්නට හෝ ලද කුශලධර්මය වඩන්නට හෝ අභව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගමන (අයෙහි) කුශල නො වෙයි. අපගමන (වැයෙහි) කුශල නො වෙයි. උපායකුශල නො වෙයි. නො ලත් කුසල්දහමුන්ගේ අධිගමය (ලැබීම) පිණිස කත්තුකාමතාකුසලච්ඡන්දය නො උපදවයි. අධිගත කුශල ධර්මයන් නො රක්නේ වෙයි. සාතත්ය (නිරන්තර) ක්රියායෙන් කුසල් දහම් නො සපයන්නේ වෙයි.
මහණෙනි, මෙ ධර්ම සයෙන් සමන්වාගත මහණ නො ලත් කුශලධර්මය ලබන්නට හෝ ලද කුශලධර්මය වඩන්නට හෝ අභව්ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ නො ලද කුශලධර්මය ලබන්නට හෝ ලද කුශලධර්මය වඩන්නට හෝ භව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආයකුශල ද වෙයි, අපායකුශල ද වෙයි, උපායකුශල ද වෙයි, අනධිගත කුශලධර්මයන්ගේ අධිගමය සඳහා ඡන්දය උපදවයි, අධිගත කුශල ධර්මයන් රක්නේ වෙයි, සතතක්රියායෙන් සපයන්නේ වෙයි.
මහණෙනි, මෙ ධර්ම සයෙන් සමන්වාගත මහණ නො ලත් කුසල්දහම් ලබන්නට ද ලත් කුසල්දහම් වඩන්නට ද භව්ය වන්නේ ය යි.
6. 2. 3. 6.
[මහන්තත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ නො බෝකලෙකින් ම ධර්මයන්හි මහද්භාවයට විපුලභාවයට පැමිණේ. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඥානාලෝක බහුල කොට ඇතියේ වෙයි, භාවනානුයෝග බහුල කොට ඇතියේ වෙයි, ප්රීතිප්රාමෝද්ය බහුල කොට ඇතියේ වෙයි. කුශලධර්මයන්හි අසන්තුෂ්ටි (නො සෑහීම) බහුල කොට ඇතියේ වෙයි, කුශලධර්මයන්හි නො බහාතැබූ (අත් නො හළ) වීර්ය්යය ඇතියේ වෙයි, දැනුදු මතුයෙහිදු වීර්ය්යය කෙරේ මැ යි.
මහණෙනි, මෙ දහම් සයෙන් සමන්වාගත මහණ නො බෝකලෙකින් ම ධර්මයන්හි මහත්ත්වයට විපුලත්වයට පැමිණේ ය යි.
6. 2. 3. 7.
[පඨම නිරය සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම් එ සෙයින් නිරයෙහි (උපදනේ) වෙයි. කවර සයෙකින යත්:
පණිවා කරණුයේ වෙයි, අයිනාදන් ඇතියේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන සුලුයේ වෙයි, ලමු ආශා ඇතියේ වෙයි, මිසදිටු ඇතියේ වෙයි.