6. 2. 2. 6.
[සමාධි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, එ මහණ තෙමේ ශාන්ත නො වූ ප්‍රණීත නො වූ සංහිඳීමෙන් නො ලත් එකඟ බැවින් නො ලත් සමාධියෙන් -
බහුප්‍රකාර වූ ඍද්ධිවිධඥානය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
විශුද්ධ වූ මිනිස් කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී: සරාග වූ හෝ සිත සරාග සිතැයි දැන ගණී ... අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
බහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ යි ... කිසෙයින යත්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත බහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
මිනිස් ඇස ඉක්මගිය විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන් දක්නේ ය ... කම්වූ පරිදි ගිය සත්ත්‍වයන් දනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට ඊට පැමිණ වෙසේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ ය යි.
මහණෙනි, ඒ මහණ ශාන්ත ප්‍රණීත ප්‍රතිප්‍රශ්‍රබ්ධියෙන් ලත් ඒකෝදිභාවාධිගත සමාධියෙන් -
බහුප්‍රකාර ඍද්ධිවිධය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
විශුද්ධ වූ මිනිස්කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂ වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී. සරාග වූ හෝ සිත සරාග සිතැයි දැනගනී ... අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
නන්වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කෙරෙයි. එ නම්: එක් දැයකුදු දැ දෙකකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්‍වනිවාස සිහිකරන්නේ ය යන තෙල කරුණ ඇතැ ...
විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් සැවැයන උපදනා හීන ප්‍රණීත මනා පැහැ ඇති නො මනා පැහැ ඇති මනා ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දක්නේ ය. කම් වූ පරිදි මියැයන සත්ත්‍වයන් දක්නේ ය යන තෙල කරුණ ඇත ...
ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට එළඹ වාසය කරන්නේ ය යන තෙල කරුණ ඇතැ යි.
6. 2. 2. 7.
[සක්ඛිභබ්බ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි, මහණ, ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි තත් වූ පරිදි නො දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මය හ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. නො සකස් කොට කරණුසුලු ද වෙයි. අපථ්‍යකරුණු කරණසුලු ද වෙයි.
මහණෙනි, මෙ සදහමින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පත්වීමට අභව්‍ය වේ ය යි.
මහණෙනි, ධර්‍ම සයෙකින් යුත් මහණ කරුණු ඇතිවත් ම එ එ විශේෂ ගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි යුත් මහණ ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. සකසා කරණ සුලුයේත් වෙයි. සත්ප්‍රායකාරීත් වේ.
මහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත මහණ විශේෂාධිගමයට උපනිඃශ්‍රය කරුණු ඇතිවත් ම එ එ විශේෂගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වේ ය යි.