6. 2. 2. 7.
[සක්ඛිභබ්බ සූත්රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, දහම් සයෙකින් සමන්වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්රත්යක්ෂභාවයට පැමිණෙන්නට අභව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි, මහණ, ‘මොහු හානභාගිය ධර්මයහ’යි තත් වූ පරිදි නො දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්මය හ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්මයහ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්මයහ’යි යථාභූත ව නො දන්නේ ය. නො සකස් කොට කරණුසුලු ද වෙයි. අපථ්යකරුණු කරණසුලු ද වෙයි.
මහණෙනි, මෙ සදහමින් සමන්වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්රත්යක්ෂ භාවයට පත්වීමට අභව්ය වේ ය යි.
මහණෙනි, ධර්ම සයෙකින් යුත් මහණ කරුණු ඇතිවත් ම එ එ විශේෂ ගුණයෙහි ප්රත්යක්ෂභාවයට පැමිණීමට භව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි යුත් මහණ ‘මොහු හානභාගිය ධර්මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්මයහ’යි යථාභූත ව දන්නේ ය. සකසා කරණ සුලුයේත් වෙයි. සත්ප්රායකාරීත් වේ.
මහණෙනි, මෙ දහම් සයෙන් සමන්වාගත මහණ විශේෂාධිගමයට උපනිඃශ්රය කරුණු ඇතිවත් ම එ එ විශේෂගුණයෙහි ප්රත්යක්ෂභාවයට පැමිණීමට භව්ය වේ ය යි.
6. 2. 2. 8.
[බල සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත භික්ෂු සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට සුදුසු නො වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමවැදීමෙහි දක්ෂ නො වෙයි. සමාධි ස්ථිරකිරීමෙහි දක්ෂ නො වේ. සමාධියෙන් නැගිටීමෙහි දක්ෂ නො වේ. සකසා කරන්නේ ද නො වෙයි. නිතර භාවිත කරන්නේ ද නො වේ. අපත්ථ්ය ක්රියා කරන්නේ ද වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ සමාධියෙන් බලවත්භාවයට පැමිණීමට අභව්ය වෙයි.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්ය වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමාපත්ති කුශල වෙයි. සමාධි ස්ථිති කුශල වෙයි. සමාධි ව්යුත්ථාන කුශල වෙයි. සකසා කරණසුලු වෙයි. සත්තභාවයෙන් කරණ සුලු වෙයි. සත්ප්රායකාරී වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් යුත් මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්ය වේ ය යි.
6. 2. 2. 9.
[පඨමජ්ඣාන සූත්රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, කරුණු සයක් නො පියා ප්රථමධ්යානයට එළඹ වසන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
කාමච්ඡන්ද ය, ව්යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් ධ්යානප්රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් නො දක්නා ලද්දේ වෙයි.
මහණෙනි, මේ කරුණු සයක් නො පියා ප්රථමධ්යානයට එළඹ වසන්නට අභව්ය වෙයි.
මහණෙනි, මෙ කරුණු සයක් ප්රහීණ කොට ප්රථමධ්යානයට එළඹ වසන්නට භව්ය වෙයි. කවර සයෙක යත්:
කාමච්ඡන්ද ය, ව්යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් සම්යක්ප්රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් දක්නා ලද්දේ වෙයි.
මහණෙනි, මෙ කරුණු සය ප්රහීණ කොට ප්රථමධ්යානයට එළඹ වසන්නට භව්ය වේ ය යි.