6. 2. 2. 10.
[දුතිය පඨමජ්ඣාන සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, කරුණු සයක් ප්රහීණ නො කොට ප්රථමධ්යානයට පැමිණ වසන්නට අභව්ය වෙයි. කවර සයෙක යත්:
කාමවිතක්ක ය, ව්යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
මහණෙනි, මෙ කරුණු සය ප්රහීණ නොකොට ප්රථමධ්යානයට එළඹ වසන්නට අභව්ය වෙයි.
මහණෙනි, කරුණු සයක් ප්රහීණ කොට ප්රථමධ්යානයට එළඹ වසන්නට භව්ය වෙයි. කවර සයෙක යත්:
කාමවිතක්ක ය, ව්යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
මහණෙනි, මෙ කරුණු සය ප්රහීණ කොට ප්රථමධ්යානයට එළඹ වසන්නට භව්ය වේ ය යි.
අනාගාමී වර්ගය දෙ වැනි යි.
එහි උද්දානය:
අනාගාමිඵල සූත්රය, අරහත්තඵල සූත්රය, මිත්ත සූත්රය, සංගණිකාරාම සූත්රය, දේවතා සූත්රය, සමාධි සූත්රය, සක්ඛිභබ්බ සූත්රය, බල සූත්රය, පඨමජ්ඣාන සූත්රය, දුතිය පඨමජ්ඣාන සූත්රය යි, සූත්ර දශයෙකි.
3. අරහත්ත වර්ගය
6. 2. 3. 1.
[දුක්ඛ සූත්රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා සහිත, උපායාස සහිත, පරිදාහ සහිත දුකෙන් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
කාමවිතර්කයෙන, ව්යාපාදවිතර්කයෙන, විහිංසාවිතර්කයෙන, කාමසංඥායෙන, ව්යාපදාසංඥායෙන, විහිංසාසංඥායෙනැ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ ඉහාත්මයෙහි විඝාත (උපද්රව) සහිත, උපායාස (දැඩි ආයාස) සහිත, පරිදාහ (කායික මානසික දැවිලි) සහිත දුඃඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි දුර්ගතිය කැමැති විය යුතු.
මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි සුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
නෛෂ්ක්රම්යවිතර්කයෙන, අව්යාපාදවිතර්කයෙන, අවිහිංසාවිතර්කයෙන, නෛෂ්ක්රම්යසංඥායෙන, අව්යාපාදසංඥායෙන, අවිහිංසාසංඥායෙනැ යි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වාසය කරයි. කාබුන් මරණින් මතුයෙහි සුගතිය කැමැති විය යුතු ය යි.
6. 2. 3. 2.
[අරහත්ත සූත්රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, කරුණු සයක් නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට අභව්ය වෙයි. කවර සයක යත්:
මාන ය (ජාති ආදීන් හඟින මානය), ඔමාන ය (මම හීනවෙමි යි යන මානය), අතිමාන ය (ඉතා උසස් මානය), අධිමානය (අනධිගතය අධිගතය යන මානය), ථම්භ (ක්රෝධ මාන දෙකින් තදබව) ය, අතිනිපාත ය (හීනයාටත් හීනවෙමි යන මාන) යි.
මහණෙනි, මෙ කරුණු සය නො පහා අර්හත්වය සාක්ෂාත් කරන්නට නො නිසි වේ.
මහණෙනි, ධර්ම සයක් ප්රහීණ කොට අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි. කවර සයෙක යත්:
මාන ය, ඔමාන ය, අතිමාන ය, අධිමාන ය, ථම්භ ය, අතිනිපාත ය යි.
මහණෙනි, මෙ ධර්ම සය ප්රහීණ කොට අර්හත්වය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි.