6. 2. 1. 8.
[පුරිසින්ද්රියඤාණ සූත්රය]
8. මා විසින් මෙසෙයින් අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි මහබික්සඟුන් හා සමඟ සැරිසරනසේක් දණ්ඩකප්පක නම් කෝශලයන්ගේ නියම්ගමට වන්සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත් ව අන්යතර වෘක්ෂමූලයෙක්හි පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඒ භික්ෂුහු ද ආවාස සොයන්නට දණ්ඩකප්පකයට වන්හ.
එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බොහෝ මහණුන් හා කැටිවලා ගාත්ර පරිෂේකය සඳහා අචිරවතී නදිය වෙත එළඹියහ. අචිරවතී නිදයෙහි ගාත්රපරිෂේක (ස්නාන) කොට නදියෙන් නැඟී එක්සිවුරු ඇතියාහු අඟපසඟ තෙත සිඳුවමින් සිටියහ.
එකල්හි (දේවදත්තපාක්ෂික) අන්යතර මහණෙක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් කරා පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කරුණ කී:
“ඇවැත් ආනන්දයෙනි, කිම භාග්යවතුන් වහන්සේ විසින් හැම තතු සිතින් ආවර්ජනා කොටගෙන ‘දෙව්දත් අපායෙහි උපදනෙක, නිරයගාමි යැ, (නිරයෙහි) කපක් සිටුනේ වන්නෙ යැ, පිළියම් නො කළ හෙන්නේ යැ’යි වදාරණ ලදුයේ ද, නොහොත් කිසියම් පර්ය්යායයෙකින් වදාරණ ලදුයේ දැ”යි.
ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් තෙල කරුණ එලෙසින් ම ව්යාකෘත ය’යි.
එක්බිති ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ:
වහන්ස, මෙ (නියම්ගම්) හි බට මම බොහෝ මහණුන් හා ශරීර පරිෂේකය සඳහා අචිරවතී නදිය කරා එළැඹියෙමි. අචිරවතී නදියෙහි සිරැර සනහා ගොඩනැඟී සිරුරු තෙත් සිඳුවමින් ඒකචීවර වැ සිටියෙමි. වහන්ස, එකල්හි අන්යතර (දේවදත්තපාක්ෂික) මහණෙක් මා කරා පැමිණියේ ය. පැමිණ මට තෙල පවත් කී:
“ඇවැත් ආනන්දයෙනි, කිමෙක භාග්යවතුන් වහන්සේ විසින් හැම තතු සිතින් ආවර්ජනා කොට ගෙන ‘දේවදත්ත ආපායික යැ, නිරයගාමි යැ, කපක් සිටුනේ වන්නේ යැ, පිළියම් නො කළ හෙන්නේ ය’යි වදාරනලද ද? නොහොත් කිසියම් පර්ය්යායයෙකින් ව්යාකෘත වේ දැයි, වහන්ස, මෙසේ කී කල්හි මම ‘ඇවැත්නි, තෙල කරුණ භාග්යවතුන් වහන්සේ විසින් මෙ සෙයින් ව්යාකෘත ය’යි එ මහණහට කීමි යි.
ආනන්දයෙනි, හේ පැවිදිව නො බෝකල් ඇති නවක මහණෙක් හෝ අව්යක්ත බාල ස්ථවිර මහණෙක් හෝ වියහෙයි. යමක් මා විසින් ඒකාන්තයෙන් ව්යාකෘත නම්, එහි කිසෙයින් ද්විධාභාවයෙක් වේද? ආනන්දයෙනි, දේවදත්ත බඳු යම් මැ පුද්ගලයෙක් මා විසින් සියල්ල සිතින් ආවර්ජනා කොට ව්යාකෘත වේ නම්, මම එබඳු අන් එකද පුඟුලකු බුදු ඇසින් නො මැ දක්මි. ආනන්දයෙනි, යම්තාක් මම දේවදත්තයාගේ අස්ලොම් අගක් වදනා තැන් පමණ වූ කුශලධර්මයක් නො දිටිම් ද, ඒතාක් මම ‘දෙව්දත්හු අපායෙහි උපදනට නිසි කම් ඇතියෙක, නිරෑහි උපදනේ යැ, ප්රතිකර්ම රහිත වූයේ යැ, කල්පස්ථායී වන්නේ යැ’ යි දෙව්දතු ව්යාකෘත නො කෙළෙම් ම ය. ආනන්දයෙනි, යම් කලෙක මම දේවදත්තගේ අස්ලොම් අග වදනා තැන් පමණකුදු කුශලධර්මයක් නො දිටිම් ද, එකල්හි මම ‘දේවදත්ත ආපායික යැ. නේරයික යැ, කල්පස්ථායී යැ, අතෙකිච්ඡ ය යි දෙව්දතු විවරණ කෙළෙමි’යි.
ආනන්දයෙනි, යම් සේ පුරුෂප්රමාණයෙන් අධික වූ ගූථයෙන් මුව විට තෙක් පිරි සිටි ගූථකූපයෙක් වේද, එහි සශීර්ෂක ව (හිසතෙක්) නිමග්න වූ පුරුෂයෙක් වේද, ඔහට අර්ත්ථ කැමැති හිත කැමැති යෝගක්ෂේම (නිර්භය) කැමැති ඒ ගූථ කූපයෙන් උදුරණු කැමැති කිසි පුරුෂයෙක් උපදනේ ය, හේ ඒ ගූථකූපය වටා ඇවිදිනුයේ යම් තැනෙක්හි ගෙණ (ඔහු) උදුරාලන්නේ නම් අස්ලොම් අගක් බැහියහැකි පමණකුදු ගූථයෙන් නො මැකි තැනක් නො දක්නේ ය. ආනන්දයෙනි, එපරිද්දෙන් ම යම් කලෙක සිට මම දෙව්දත්හුගේ අස්ලොම් අගක් වදනා තැන් තරම් වූ ද කුශලධර්මයක් නො දිටිම් ද, එකල්හි මම ‘දේවදත්ත ආපායික ය, නේරයික ය, කල්පස්ථ ය, අතෙකිච්ඡ ය’ යි දෙව්දතු විවරණ කෙළෙමි.
ආනන්දයෙනි, ඉදින් තෙපි පුරුෂෙන්ද්රියඥාන විභාග කරණ තථාගතයන්ගේ භාෂිතය අසවු දැ’යි. භාග්යවතුන් වහන්ස, තෙල භාෂිතයට මේ කලි, සුගතයන් වහන්ස, යම් සෙයකින් භාග්යවතුන් වහන්සේ පුරුෂෙන්ද්රියඥාන විභාග කරණ සේක් නම්, මෙ තෙල භාෂිතයට කලි. භාග්යවතුන් වහන්සේගේ බස් අසා භික්ෂූහු එ දරන්නාහ යි. ආනන්දයෙනි, එසේ වී නම් මනාකොට අසව, මෙනෙහි කරව, වදාරමි යි. වහන්ස. එසේ යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
(1) ආනන්දයෙනි, මෙ ලොව්හි මම’ මෙ පුඟුල්හට කුසල්දහම්හු ද අකුසල් දහම්හු ද විද්යමානයහ’ යි මෙසෙයින් තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුඟුල්හුගේ කුශලධර්මයෝ අතුරුදන් වූහ, අකුශලධර්මයෝ සම්මුඛීභූතයහ. මොහුට ප්රහීණ නො වූ කුශලමූල ද ඇත. ඒ කුශලමූලයෙන් මොහුට කුසල් පාළ වන්නේ ය. මෙසේ වත් ම ‘මේ පුඟුල් මත්තෙහි නො පිරිහෙන සැහැවි ඇති වන්නේ ය’ යි මෙසේ තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි.
ආනන්දයෙනි, යම් පරිදි නො කඩ වූ කුණු නො වූ වාඅව්වෙන් නො නට සාරය ගත් මොනොවට රැස් (යහන්) කරණලද මනා කෙත්හි මනාසේ පිරියම් කළ බිම්හි වපුළ බීජයෝ වෙත් නම්, ආනන්දයෙනි, මෙ බිජුවටහු වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණෙත් යයි තො දන්හි දැයි. වහන්ස, එසේ ය.