6. 2. 1. 5.
[දාරුකම්මික සූත්‍රය]
5. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසනසේක. එකල්හි දාරුකම්මික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් දාරුකම්මික ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. යම් ඒ මහණෙක් ආරණ්‍යක වෙත් නම්, පිණ්ඩපාතික වෙත් නම්, පාංසුකූලික වෙත් නම්, රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු වෙත් නම්, වහන්ස, එබඳු මහණුන් කෙරෙහි මවිසින් දන් දෙනු ලැබේ ය යි.
ගැහැවිය, කාමභෝගී වූ පුත්‍ර සම්බාධ සයනයෙහි වෙසෙන ගිහි වූ කසී සඳුන් වළඳ කරණ මල්ගඳවිලෙවුන් දරණ රන් රිදී ඉවසන තා විසින් ‘මොහු රහත්හ කියා හෝ මොහු රහත්මගට පිළිපන්හ’යි කියා හෝ තෙල කරුණ දත නො හැකි වේ.
(1) ගෘහපතිය, ආරණ්‍යක වූ ද මහණ උඩනු වූයේ නැඟි මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරගිය තෙපුල් ඇතියේ නට සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා නැතියේ සමාහිත නො වූයේ භ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික (ස්වභාවික නොදැමුනු) ඉන්‍ද්‍රිය ඇත්තේ වෙයි ද, මෙසේ හෙ තෙම එ කරුණෙන් ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, මහණ ආරණ්‍යක වූයේ ද උද්ධත නො වූයේ ද නැඟි මානනළ නැතියේ අචපල වූයේ දොඩමලු නො වූයේ නො විසුරුණු වදන් ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සමාහිත වූයේ එකඟ සිත් ඇතියේ ඇවුරූ ඉඳුරන් ඇතියේ වේ ද, මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.
(2) ගෘහපතිය, ග්‍රාමාන්තවිහාරි (ගම්වැසි) නමුදු මහණ උඬනු වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය ග්‍රාමාන්තවිහාරී නමුදු මහණ උද්ධත නො වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.
(3) ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ එ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.
(4) ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන්නා වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන සුලු වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ ඒ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.
(5) ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ හේ එකරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
(6) ගෘහපතිය, ගිහියන් දෙන චීවරධර වූ ද මහණ උද්ධත වූයේ උද්ගත මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරුණු වදන් ඇතියේ නට සිහි ඇතියේ මනා නුවණ නැතියේ සමාහිත නො වූයේ විභ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික වූ ඉන්‍ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. ගෘහපතිය, ගෘහපතිචීවරධර වූ ද මහණ අනුද්ධත වූයේ උද්ගත මානනළ නැතියේ චපල නො වූයේ දොඩමලු නො වූයේ නො විසිරුණු වදන් ඇතියේ එළඹසිටි සිහි ඇතියේ මනා නුවණ ඇතියේ සමාහිත වූයේ එකඟසිත් ඇතියේ සංවෘත ඉන්‍ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
ගෘහපතිය, එහෙයින් ම තෝ සඟුන් කෙරෙහි දන් දෙව. සඟුන් කෙරෙහි දන් දෙන තාගේ සිත පහන් වන්නේ ය. එබඳු තෝ පහන් සිත් ඇතියේ සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නෙහි යි.
වහන්ස, තෙල මම අද පටන් කොට සඞ්ඝයා කෙරෙහි දන් දෙන්නෙමි යි.