6. 2. 1. 6.
[හත්‍ථිසාරිපුත්ත සූත්‍රය]
6. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් මිගදායෙහි වැඩවසන සේක. එ සමයෙහි බොහෝ තෙර මහණහු පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු මණ්ඩලමාළයෙහි රැස්ව හුන්නාහු අභිධර්‍මමිශ්‍ර කථා කෙරෙත්.
එහි හස්තිශාරිපුත්‍ර ආයුෂ්මත් චිත්ත තෙරහු තෙර මහණුන් අභිධර්‍මකථා කරත් ම අතරින් අතරැ කථා හෙළත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ඇත්සැරියුත් ආයුෂ්මත් චිත්ත තෙරුන්ට තෙල කීහ: “ආයුෂ්මත් හත්‍ථිසාරිපුත්‍ර චිත්ත තෙරහු තෙරමහණුන් අභිධර්‍මකථා කරත් ම අතරින් අතරැ නහමක් කථා හෙළත්වා. ආයුෂ්මත් චිත්ත තෙරණුවෝ කථාපර්‍ය්‍යවසානය ඉවසත්වා”යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙරණුවන්ගේ සබඳ මහණහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්හට තෙල කීහ: “ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර නහමක් ගටත්වා. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර පණ්ඩිතයහ. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර තෙරහු තෙරමහණුන්හට අභිධර්‍මකථා කියන්නට ද පොහොසත්හ”යි.
ඇවැත්නි, මෙරමාගේ චිත්තාචාරය නො දන්නවුන් විසින් තෙල නො දත හැක්ක.
(1) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් කල් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය වූ සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ නම් එතෙක් කල් සුරතාකාර නිවාතාකර වෙයි. උපශාන්තාකාර වෙයි. යම් මැ කලෙක හේ ශාස්තෘහු කෙරෙන් බැහැර යේ නම්, හේ ගුරුස්ථානීය සබ්‍රහ්මචාරීන් කෙරෙන් බැහැර යේ නම්, හේ මහණුන් හා සමඟ මෙහෙණන් හා සමඟ උවසුවන් හා සමඟ උවැසියන් හා සමඟ රජුන් හා සමඟ රජමහ ඇමැතියන් හා සමඟ තීර්‍ත්‍ථකයන් හා සමග තීර්‍ත්‍ථක ශ්‍රාවකයන් හා සමග සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට ව ව්‍යපකෘෂ්ට ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇතිව භාෂ්‍යකථායෙහි නියැලී වසන ඔහුගේ සිත රාගය ධර්‍ෂ කෙරෙයි (සමාධියෙන් දුරලයි) හේ රාගයා විසින් ධර්ෂිත (මැඩුණු) සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන (ගිහි) භාවයට යෙයි.
ඇවැත්නි, යම් පරිදි වැඩෙන ශස්‍ය බුදින ගොණෙක් දමින් හෝ බඳනාලදුයේ, ගොවුදෙහි හෝ අවුරණලදුයේ වේ නම්, ඇවැත්නි, “සස් බුදින මෙ ගොන් යලිදු ශස්‍යයට නො බස්නේ ය”යි යමෙක් මෙසේ කියා නම්, ඇවැත්නි, ඒ කියනුයේ මැනවින් කියෙන්නේ දැයි. ඇවැත්නි, නැත් මැයි. ඇවැත්නි, යම් හෙයෙකින් සස් බුදින එ ගොන් දාමය හෝ සිදැ ගොවුද හෝ බිඳැ වැලිදු ශස්‍යයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ ද, ඒ තාක් සුරතයකු සෙයින් සුරත වෙයි,. නිවාතයකු සෙයින් නිවාත වෙයි. උපශාන්තයකු සෙයින් උපශාන්ත වෙයි. යම් කලෙක හේ ශාස්තෲන් වහන්සේ කෙරෙන් බැහැර යේ ද, ගුරුස්ථානීය වූ සබ්‍රම්සරුන් කෙරෙන් බැහැර යේ ද, හේ භික්‍ෂූන් හා භික්‍ෂූණීන් හා උවසුවන් හා උවැසියන් හා රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට වුහුටු කමටහන් ඇති ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇති ව භාෂ්‍යකථායෙහි අනුයුක්ත ව වසන ඔහුගේ සිත රාගය ගෙණ සිටුනේ වෙයි. රාගයා විසින් ගත් සිතින් හෙ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන භාවයට වැටෙයි.
(2) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම (අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම) ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්‍රථමධ්‍යානලාභියෙමි යි භික්‍ෂූන් හා ... සංසෘෂ්ට වූයේ වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
ඇවැත්නි, යම්පරිදි සතරමංසන්‍ධියෙහි දළ පොද ඇති මේඝය වස්නේ රජස් අතුරුදන් කෙරේ ද, මඩ පාළ කෙරේ ද, ඇවැත්නි, “මෙ සතරමං සන්‍ධියෙහි යලිත් රජස් පාළ නො වන්නේ ය”යි යමෙක් මෙසේ කියා නම් ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ වේ දැ?යි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඇවැත්නි, යම් හෙයෙකින් අසෝ මහාපථයෙහි මනුෂ්‍යයෝ හෝ ඉක්මයෙති, ගවපසුහු හෝ ඉක්මයෙති, අව්සුළං හෝ තෙතමන සිඳ ගන්නේ ය. ඉක්බිති රජස් පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්‍රථමධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට යෙයි.
(3) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්‍කවිචාරයන්ගේ ව්‍යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
ඇවැත්නි, යම් පරිදි ගමකට වේවයි, නියම්ගමකට වේවයි, නුදුරෙහි මහදහතළායෙක් වේ නම්, එහි මහත් පොද ඇති මේඝය වස්නේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන් හා කැටකැබිලිති හා අතුරුදන් කරවයි. ඇවැත්නි, යමෙක් “දැන් මෙ දහතළායෙහි වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැටකැබිලිත් පාළ නො වේ ය”යි කියන්නේ නම්, ඇවැත්නි, හේ මොනොවට කියන්නේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ තළායෙහි මිනිස්සු හෝ පානය කරන්නාහ. ගවපසුහු හෝ පානය කරන්නාහ. අව්සුළං හෝ තෙත්ගතිය ගෙවාගන්නේ ය. වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැට කැබිලිති පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්‍ක විචාරව්‍යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හේ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
(4) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙනුදු ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්‍යානලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
ඇවැත්නි, යම් පරිදි පිණිබොජුන් වළඳනා පුරුෂයකු හට ප්‍රකට දෝෂ ඇති, කුද්‍රෑසක භෝජනය නුරුස්නේ ද, “දැන් මෙ පුරිස්හට නැවත බොජුන් නො රුස්නේ ය”යි යමෙක් කියා නම්, ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ දැයි? ඇවැත්නි, මෙ නො වේ මැ යි. “ඇවැත්නි, පිණිබොජුන් වැළඳු තෙල පුරිස්හට යම්තාක් කයෙහි එ ඕජාව සිටුනේ ද, ඒතාක් අන් බොජුනක් නො ම රුස්නේ ය. යම් කලෙක ඔහුගේ ඒ ඕජාව අතුරුදන් වේ නම්, එකල නැවතත් ඒ බොජුන රුස්නේ ය” යන තෙල කරුණ විද්‍යමාන වේ. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙන් ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.