6. 2. 1. 4.
[ආසව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා පාහුනෙය්‍ය හා දක්ඛිණෙය්‍ය හා අඤ්ජලිකරණීය හා ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහාතව්‍ය වෙත් නම් එ ආස්‍රවයෝ සංවරයෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහීණ වෙත්, යම් ආස්‍රව කෙනෙක් විනෝදනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, ඒ ආස්‍රවයෝ විනෝදනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ භාවනායෙන් ප්‍රහීණ වෙත්.
(1) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, එ සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ කවරහ: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වාස කරයි. මහණෙනි, යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වාස කරණ ඔහට දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘතව වාස කරණ ඔහට එ විඝාතපරිදාහකර (දුක් - දැවිලි කරණ) ආස්‍රවයෝ නො මැ වෙත්. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ... ඝ්‍රාණේන්‍ද්‍රිය ... ජිහ්වේන්‍ද්‍රිය ... කායේන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත වූයේ වාස කෙරෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වසන ඔහුට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වසන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයෙන් අසංවෘත ව වසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, සංවරයෙන් සංවෘතව වාස කරන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රව යි කියනු ලැබෙත්.
(2) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට යම්තාක් ශීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්‍පයන්ගේ පහස නැස්ම පිණිස ම ලජ්ජාස්ථාන පිළිසන් කරණු පිණිස ම සිවුරු සෙව්නේ ය.
නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට පිඬුවා සෙවුනේ ය: නො ම දව පිණිස ය, නො ම මද පිණිස ය, නො ම උනුතැන් පුරනු පිණිස ය, නො ම සැරසුම් පිණිස ය, මෙ සිරුරෙහි පැවැත්ම සඳහා ම ය, යැපීම සඳහා ම ය, සාදුක් නසනු සඳහා ම ය, බ්‍රහ්මචර්‍ය්‍යානුග්‍රහ සඳහා ම ය. මෙ සෙයින් (මෙ පිඬු බොජුනෙන්) පැරණි සාදුක් වේදනාත් නස්මි. නව වේදනාත් නො ම උපදවන්නෙමි. (මෙයින්) මාගේ ජීවනයාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ ය යි.
නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්‍පයන්ගේ පහස් නැස්ම පිණිස ම ඍතුපීඩා විනෝදනය (පහකිරීම) පිණිස ම පිළිසලනෙහි ඇල්ම පිණිස ම සෙනසුන් සෙව්නේ ය.
නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් ව්‍යාබාධකර වේදනාවන් නස්නා සඳහා ම අව්‍යාබාධපරමතාව (නිරෝග බව) සඳහා ම බෙහෙත් පිරිකර සෙව්නේ ය.
මහණෙනි, යම් හෙයෙකින් ප්‍රතිසේවනා නො කරණුවහට දුඃඛපරිදාහකර ආස්‍රවයෝ උපදිත් නම්, ප්‍රතිසේවනා කරණුවහට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්.
මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ ය යි කියනු ලැබෙත්.
(3) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් ද, අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය ඒ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ශීතය උෂ්ණය ක්‍ෂුධාව පිපාසාව මැසි මදුරුවාතාතප සරීසාපසංස්පර්‍ශය සහනය කෙරෙයි. නපුරු කොට කියනලද නපුරු කොට (තමන් වෙත) පැමිණි වාක්පථ සහනය කෙරෙයි. උපන් දුක් වූ තීව්‍ර වූ ක්‍රෑර වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනා ඉවසන සැහැවි ඇතියේ වෙයි. යම් හෙයෙකින් නො ඉවසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, ඉවසන ඔහට මෙසේ එ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.
(4) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් (වැළහීමෙන්) ප්‍රහීණ වෙත් නම්, පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සැඬ ඇත් වළහයි. සැඬ අස් වළහයි. සැඬ ගොන් වළහයි. සැඩ කුකුරු වළහයි. අහි ය, කණු ය, කටුලැහැබ් ය, කුඩා සැඬදිය හෙබ් ය, ප්‍රපාත ය, ස්‍යන්‍දනිකා ය, ගවරවළ ය යන මෙ හැම වළහයි. යම්බඳු නො මනා අස්නෙක හුන්නහු යම්බඳු ආගෝචරයෙක්හි සරන්නාහු, යම්බඳු ලමු මිතුරන් සෙවුනහු, විඥ සබ්‍රහ්මචාරීහු ලමු තන්හි ලා අවමන් කොට කල්පනා තෙරෙත් නම්, හේ එ බඳු නොමනා සෙනසුන් ද, එ අගෝචරස්ථාන ද, එ ලමු මිතුරන් ද නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට වළහයි. මහණෙනි, යම් හෙයෙකින් පරිවර්‍ජනා නො කරණ ඔහට විඝාතපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, පරිවර්‍ජනා කරණ ඔහට මෙසේ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහීණවෙත් නම්, මෙ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.