6. 2. 1. 3.
[ඡළාභිජාති සූත්‍රය]
3. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
වහන්ස, පූරණකාශ්‍යප විසින් අභිජාති (ජාතිවිශේෂ) සයෙක් පණවන ලද: කෘෂ්ණාභිජාති පණවනලදු. නීලාභිජාති පණවනලදු. ලෝහිතාභිජාති පණවනලදු. හරිද්‍රාභිජාති පණවනලදු. ශුක්ලාභිජාති පණවනලදු. පරමශුක්ලාභිජාති පණවනලදු.
(1) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් රුදුරු එළුවැදිහ, හූරුවැදිහ, ලිහිණිවැදිහ, මුවවැදිහ, මත්ස්‍යඝාතකයහ, සොරහ, චෝරඝාතකයහ, බන්‍ධනාගාරිකයහ, අනිකුදු කුරිරුකම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද කණ්හාභිජාති කොට පණවන ලදහ.
(2) වහන්ස, එහිලා පූරණකාශ්‍යප විසින් කණ්ටකවුත්තික භික්‍ෂුහු ද, අන්‍ය වූත් කර්‍මවාදී ක්‍රියාවාදීහු නීලාභිජාතිකහයි පණවන ලදහ.
(3) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් ඒකසාටක නිගණ්ඨයෝ ලෝහිතාභිජාතිකයහ යි පණවන ලදහ.
(4) වහන්ස, පූරණකාශ්‍යප විසින් ගිහි සුදුවත් හඳනා අචෙලකශ්‍රාවකයෝ හරිද්‍රාභිජාතිකයහ යි පණවන ලදහ.
(5) වහන්ස, පූරණකාශ්‍යප විසින් ආජීවකයෝ ද, ආජීවිකාවෝ ද ශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.
(6) වහන්ස, එහි ලා නන්‍ද ය, වච්ඡ ය, කිස ය, සඞ්කිච්ච ය, මක්ඛලිගෝසාල ය යන මොහු පූරණකාශ්‍යප විසින් පරමශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.
වහන්ස, පූරණකාශ්‍යප විසින් මෙ ෂඩ්අභිජාතීහු පණවන ලදහ’යි.
කිමෙක ආනන්‍දයෙනි, හැම ලෝවැස්සෝ පූරණකාශ්‍යපයාගේ තෙල පැණවීම - මෙ ඡළාභිජාතීන් පැණවීම අනුදන්නාහු දැ’යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
ආනන්‍දයෙනි, යම්සේ දිළිඳු නිර්ධන ආඪ්‍ය නො වූ පුරුෂයෙක් වේ නම්, නො කැමැත්තා වූ ම ඔහුගේ අත්හි “එම්බා පුරුෂය, මෙ මස් තා විසින් කෑයුතු ය. මිල ද දියයුතු ය”යි මළ ගොණකුගේ මස් කොටසක් බලාත්කාරයෙන් අත තබත් නම්,
ආනන්‍දයෙනි, එ සෙයින් ම පූරණකාශ්‍යප විසින් තෙල මහණ බමුණන්ගේ අප්‍රතිඥායෙන් ම අව්‍යක්ත වූ ක්‍ෂේත්‍රඥ නො වූ (අභිජාති ප්‍රඥප්තිවිෂය නො දන්නා වූ) අදක්‍ෂ වූ බාලයකු විසින් කරණු ලබන්නක් සේ ම ෂඩභිජාතිහු පණවනලදහ.
ආනන්‍දයෙනි, මම මේ අභිජාතීන් සදෙනකු පණවමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
වහන්ස, එසේ යයි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ආනන්‍දයෙනි, ෂඩභිජාතීහු කවරහ:
ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව ම උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇති ව ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි. (ආර්‍ය්‍යභූමි සඞ්ඛ්‍යාත නිර්‍වාණ ජාතියෙහි උපදනේ ය.) ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි.
(1) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණාභිජාතියෙහි උපදනේ ය: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සැඬොල්කුලයෙහි වේවයි, වැදිකුලයෙහි වේවයි, කුලුපොතු කුලයෙහි වේවයි, සොම්මර කුලයෙහි වේවයි, පුප්සඬුකුලයෙහි වේවයි දිළිඳු අල්ප පාන භෝජන ඇති, දුකසේ දිවිවැටුම් ඇති, යම් කුලයෙක දුකසේ ආහාර පාන වස්ත්‍ර ලැබේ නම් එබඳු නීචකුලයෙක උපදනේ ය. හෙ දුර්වර්‍ණ ඇතියේ නපුරු දැකුම් ඇතියේ ලකුණ්ටක වූයේ බොහෝ ආබාධ ඇතියේ කණෙක් වේවයි කොරෙක් වේවයි පිළෙක් වේවයි පක්‍ෂහතයෙක් වේවයි අහර පැන් වස්ත්‍ර යානමල්ගඳවිලෙවුන්ශය්‍යා ආවසථ ප්‍රදීපෝපකරණ නො ලබනසුලුයේ වෙයි. හේ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය.
(2) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් හීන කුලයෙක උපදනේ ය ... හෙ ද දුර්වර්‍ණ ඇතියේ ශය්‍යාවසථප්‍රදීපෝපකරණ නො ලබනසුල්ලේ වෙයි. හෙ කයින් සුසිරිත් පුරයි, වචනයෙන් සුසිරිත් පුරයි, මනසින් සුසිරිත් පුරයි. හෙ කයින් සුසිරිත් පුරා, වචනයෙන් සුසිරිත් පුරා, මනසින් සුසිරිත් පුරා කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය.