6. 2. 1. 2.
[ඵග්ගුණ සූත්රය]
[සැවැත්නිදාන යි]
2. එ සමයෙහි ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු උපන් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහ. වහන්ස, භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා අනුකම්පා කොට වඩනාසේක් නම් මැනැවැ”යි. භාග්යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසාවදාළ සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස්වරුවෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා වැඩියහ. ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ වඩනා භාග්යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක හැඳෙහි නැගීසිටුනා අයුරක් දැක් වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්ට තෙල වදාළහ: “ඵග්ගුණයෙනි, කම් නැත, තො හැඳෙන් නො නැඟෙව. පළමු පනවනලද මෙ අසුන් ඇත. එහි මම හිඳිනෙමි”යි. භාග්යවතුන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්හට තෙල වදාළහ:
“ඵග්ගුණයෙනි, කිම, සැහිය හේ ද, කිම, යැපිය හේ ද, කිම, දුක් වේදනා සන්හිඳුමට යේ ද, වැඩුමට නො යේ ද, සන්හිඳුමෙක් පැණේ ද, වැඩුමෙක් නො පැණේ දැ?”යි.
වහන්ස, මා විසින් නො සැහිය හෙයි. නො යැපිය හෙයි. මාගේ දුඃඛවේදනාවෝ වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණේ, සන්හිඳුමෙක් නො පැණේ ය යි.
වහන්ස, යම් පරිදි බලවත් පුරුෂයක් තියුණු කඩුසිළින් මුදුන මඩනේ ද, වහන්ස, එ පරිදි ම අධිමාත්රවාතයෝ මා මුදුන පෙළත්. වහන්ස, මා විසින් ඉවැසිය නො හෙයි. යැපිය නො හෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි වූවාහු වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණෙයි, සන්හිඳුමෙක් නො පැණේය යි.
වහන්ස, බලවත් පුරුෂයෙක් දැඩි වරරැහැනින් හිස්හි හිස්වෙළුම් දෙන්නේ යම්සේ වේ ද, වහන්ස, එ පරිදි ම මාගේ හිසෙහි ශීර්ෂවේදනාවෝ වෙති. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟී එති. බැස නො යෙති. නැඟ ඊම් අවසන පෙණෙයි. බැසීම් අවසන නො පෙණෙයි.
වහන්ස, දක්ෂ ගෝඝාතකයෙක් වේවයි, ගෝඝාතකාන්තේවාසිකයෙක් වේවයි තිහිණි ගෙරිකපන සැතින් කුස සිඳින්නේ යම්සේ වේ ද, වහන්ස, එපරිදි ම අධිමාත්ර වාතයෝ මාගේ කුස සිඳිත්. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟ එත්, බැස නො යෙත්, නැඟ ඊම් අවසන පෙණෙයි, බැසීම් අවසන නො පෙණෙයි.
වහන්ස, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුඹුල් පුරුෂයකු අත්හි වෙන වෙන ගෙණ අඟුරුවළක ලා දවන්නාහු වෙසෙසින් දවන්නාහු නම්, වහන්ස, එ පරිදි ම මාගේ කයෙහි අධිමාත්ර දාහය වෙයි. වහන්ස, මා විසින් ඉවසිය නො හේ. යැපිය නො හේ. මාගේ ගාඪවේදනාවෝ නැඟ එති. බැස නො යෙත්. නැඟ ඊම් පැණෙයි, බැස යාමෙක් නො පැණෙයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ දැහැමි කථායෙන් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩි සේක.
ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වඩනා හා ම කලුරිය කළහ. මැරෙණ කල්හි උන්වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන් වූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ. “වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු භාග්යවතුන් වහන්සේ නික්ම වැඩි නො බෝකල් ඇතිවත් ම, කලුරිය කළහ. ඔහුගේ ඒ මැරෙණ මොහොතෙහි ඉන්ද්රියයෝ වෙසෙසින් පහන්වූහ” යි.
ආනන්දයෙනි, කවර හෙයින් ඵග්ගුණ භික්ෂුහුගේ ඉන්ද්රියයෝ පහන් නො වෙත් ද? ආනන්දයෙනි, ඵග්ගුණ භික්ෂුහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත විය. එ දහම් දෙසුම් අසා ඔහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත විය.