6. 2. 1. 1.
[සෝණ සූත්රය]
1. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රජගහනුවර සීතවනයෙහි වාස කෙරෙති.
එකල්හි රහෝගත ව පිළිසලනට ගිය ආයුෂ්මත් සෝණ තෙරණුවන්ට මෙ බඳු චිත්තපරිවිතර්කයෙක් උපන: “භගවත්හුගේ ඇරඹු වීර්ය්ය ඇති යම් කිසි ශ්රාවක කෙනෙක් වෙසෙත් නම්, මම ඔවුනතුරෙන් අන්යතරයෙක්මි. වැලිදු මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝගයෝ ඇත් මැ යි. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකි වේ. මම් ශික්ෂා ප්රත්යාඛ්යාන (උපසම්පදා පිළිකෙව්) කොට හුනු බවට (ගිහි බවට) පැමිණ භෝගයනුදු වළඳ කෙරෙම් නම් පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.
එකල්හි භාග්යවතුන් වහන්සේ (තමන් වහන්සේගේ) සිතින් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ චිත්තපරිවිතර්කය දැන වදාරා බලවත් පුරුෂයෙක් හැකුළු අත හෝ දිගුකරන්නේ යම් සේ නම්, දිගු කළ අතක් හෝ හකුළන්නේ යම් සේ නම්, එසෙයින් ම ගිජුකුළු පව්යෙහි අතුරුදන් වූ සේක් සීතවනයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවන්ගේ හමුයෙහි පැණී ගිය සේක. භාග්යවතුන් වහන්සේ පැන් වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් සෝණ තෙරහු ද භාග්යවතුන් සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරුන්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක:
සෝණයෙනි, රහෝගත ව එකලා ව හුන් තොපගේ සිත්හි මෙබඳු පරිවිතර්කයෙක් පහළ වූයේ නො වේ ද? “භාග්යවතුන් වහන්සේගේ යම් කිසි ශ්රාවක කෙනෙක් රුකුළු වැර ඇතියාහු වෙසෙත් නම්, මම ඔවුනතර අන්යතරයෙක්මි. වැලිත් මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන්ගෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝග ඇත් මැ ය. භෝග වළඳ කරන්නාට ද පින් කරන්නට ද හැකි වේ. මම ශික්ෂාප්රත්යාඛ්යාන කොට හීන භාවයට ගොස් භෝගයනු දු වළඳ කෙරෙම් නම්, පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.
වහන්ස, එසේ ය.
සෝණයෙනි, එ කිමැයි හඟිහි. තෝ පෙර අගාරික වූයෙහි වීණාතන්ත්රිස්වරයෙහි (වෙණවැයීමෙහි) දක්ෂයෙහි?
වහන්ස, එසේ ය.
සෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්රීහූ අත්යායත (ඉතා තද) වෙත් නම්, තාගේ වීණාව එ සමයෙහි ස්වරවත් වේ දැයි, කර්මණ්යත් වේ දැ?යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
සෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්රීහූ ඉතා ලිහිල් වෙත් නම්, එ සමයෙහි තාගේ වීණාව ස්වරවත් වේ දැයි කර්මණ්ය හෝ වේ දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යි.
සෝණයෙනි, යම් විටක තාගේ වීණායෙහි තන්ත්රීහූ අත්යායත නො වෙත් නම්, අතිසිථිල නො වෙත් නම්, සමගුණයෙහි පිහිටියාහු නම්, එවිට තාගේ වීණාව ස්වරවත් හෝ වේ ද, කර්මණ්යත් හෝ වේ දැ?යි.
වහන්ස, එසේ ය.
සෝණයෙනි, එ පරිදි ම අත්යාරබ්ධ වීර්ය්යය උද්ධච්චය පිණිස වැටෙයි. අතිලීන වීර්ය්යය ය කුසීත භාවයට වැටෙයි. සෝණයෙනි, එ කරුණින් මෙහිලා තෝ වීර්ය්ය සමත්වය ඉටුව, ශ්රද්ධාදි ඉන්ද්රියසමත්වය පිළිවිදුව, එහි නිමිති ගණුව යි. (ශමථවිදර්ශනා මාර්ගඵල නිමිති නිපදව යන අර්ත්ථයි.)
වහන්ස, එසේ ය යි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භගවත්හට පිළිවදන් ඇස්සූහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ ඔවායෙන් ඔවා දි බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරණුයේ යම් සේ නම්, දික්කළ අතක් හෝ හකුළනුයේ යම් සේ නම්, එ පරිද්දෙන් ම සීතවනයෙහි අතුරුදන් වූ සේක් ගිජුකුළුපව්යෙහි පැණී ගිය සේක.
ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරහු පසුකාලයෙහි වීර්ය්යසමත්වය ඉටූහ. ඉන්ද්රියසමත්වය පිළිවිදියහ. එහි නිමිති ද ගත්හ. ඉක්බිති එකලා වූ කයින් ගණයා කෙරෙන් වෙන් වූ අප්රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්ෂක වූ ආයුෂ්මත් සෝණ තෙරහු නො බෝ දිනෙකින් ම යමක් පිණිස කුලපුත්රයෝ මනාකොට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් එ බ්රහ්මචර්ය්ය පර්ය්යවසාන අනුත්තර අර්හත් ඵලය දිටුදැමියෙහි ම, තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වූසූහ. ජාති සඞ්ඛ්යාත පුනර්භවය ක්ෂීණ විය. මාර්ග බ්රහ්මචර්ය්යය ද වැස නිමවන ලද, සිවුමග කරණී කරණලද, නැවත මෙ බව පිණිස (මේ සොළොස් වැදෑරුම් කෘත්යය හෝ ක්ලේශක්ෂය පිණිස) අනෙකක් (අනෙක් මාර්ගභාවනාකෘත්යයෙක්) නැතැයි මොනොවට දත්හ. ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්යතර වූහ.
ඉක්බිති අර්හත්වයට පත් ආයුෂ්මත් සෝණ තෙරුන්හට තෙල සිත විය: “මම භාග්යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භගවත්හු හමියෙහි අර්හත්වය පාළ කෙරෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්යවතුන් කරා ගියහ. ගොස් භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් ඒ අර්හත් වූ ක්ෂීණාස්රව වූ වැස නිම වූ කළ කරණී ඇති, බහා තැබූ කෙළෙස් බර ඇති, පැමිණි රහත් බව ඇති, පරික්ෂීණ භවසංයෝජන ඇති, මොනවට දැනැ විමුක්ත වූ භික්ෂුනමෙක් වේ නම්, හෙ කරුණු සයක් අධිමුක්ත (පිළිවිද සිටියේ) වෙයි. නෛෂ්ක්රම්යාධිමුක්ත වෙයි. ප්රවිවේකාධිමුක්ත වෙයි. අව්යාබාධාධිමුක්ත වෙයි. තෘෂ්ණාක්ෂයාධිමුක්ත වෙයි. උපාදානක්ෂයාධිමුක්ත වෙයි. අසම්මෝහාධිමුක්ත වෙයි.
(1) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක්හට මෙබඳු සිතෙක් වන්නේ ම ය: “හුදෙක් (ප්රතිවේදයෙන් තොර) ශ්රද්ධා මාත්රය ම නිසා මෙ ආයුෂ්මත් ඒකාන්තයෙන් නෛෂ්ක්රම්යාධිමුක්ත වේ ය”යි. වහන්ස, තෙල කරුණ එසේ නො දැක්කයුතු වෙයි. වහන්ස, වැස නිම වූ කළ කරණී ඇති, ක්ෂීණාස්රව මහණ තමහට කටයුතු දෙයක් හෝ කළදැය නැවත කිරීමෙන් වැඩීමක් හෝ නො දක්නේ, රාගක්ෂයෙන් වීතරාගී බැවින් නෛෂ්ක්රම්යාධිමුක්ත (නෛෂ්ක්රම්යසංඛ්යාත අර්හත්වය ප්රත්යක්ෂ කොට ඵලසමවත්හි සිටියේ) වෙයි. ද්වේෂක්ෂයෙන් විහතද්වේෂ ඇති බැවින් නෛෂ්ක්රම්යාධිමුක්ත වෙයි. මෝහක්ෂයෙන් විහත මෝහ ඇති බැවින් නෛෂ්ක්රම්යාධිමුක්ත වෙයි.