6. 1. 4. 12.
[නාගිත සූත්රය]
42. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහබික්සඟුන් හා සමග සැරි සරණසේක්, කෝශලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩි සේක. භාග්යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වාස කරන්නාහ.
ඉච්ඡානඞ්ගලික බ්රාහ්මණ ගෘහපතිහු “ශාක්යකුලයෙන් නික්ම පැවිදි වූ ශාක්යපුත්ර ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගලයට වැඩිසේක් ම ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වසන්නාහ. “ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ. සම්යක් සම්බුද්ධයහ. විද්යාචරණ සම්පන්නයහ ... බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිතුගොසෙක් උස් ව නැගියේ ය. උන්වහන්සේ දෙවියන් සහිත මෙ ලෝකය ... එබඳු රහතුන්ගේ දර්ශනය මනා වන්නේ ය”යි ඇසූහු ම ය.
ඉක්බිති ඉච්ඡානඞ්ගල වැසි බමුණු ගැහැවියෝ එ රෑ ඇවෑමෙන් ප්රභූත ඛාද්යභෝජ්යයන් රැගෙණ ඉච්ඡානඞ්ගල වනෂණ්ඩය කරා එළඹියහ. එළැඹ බිහි දොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇති ව සිටියහ.
එ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමැතූසේක: නාගිතයෙනි, උස් හඬ ඇති, මහ හඬ ඇති ඔහු කවරහු දැ? මත්ස්යවිලෝපයෙහි (මාළු කඩයක) කෙවුළන් වැනියහ’යි.
“වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලවැසි බමුණු ගැහැවිහු බොහෝ කෑයුතු බුදියයුතු දෑ ගෙණ භාග්යවතුන් වහන්සේ හා භික්ෂු සඞ්ඝයා උදෙසා මැ බිහිදොර කොටුයෙහි සිටියහ”යි.
නාගිතයෙනි, මම නහමක් පිරිවර හා එක් වෙම්වා, පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසම සුඛයක්, සම්බොධ සුඛයක් මම කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් වනාහි මේ නෙක්ඛම්මසුඛය, පවිවේක සුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ විපුල කොට ලබන සුලුයේ නො වේ නම්, හේ, එ මීඪ (අසූචි) සුඛය, නිද්රාසුඛය, ලාභ සත්කාර වර්ණභණනය නිසා උපන් සුඛය ඉවසන්නේ ය.
වහන්ස, භාග්යවතුන් වහන්සේ දැන් ඉවසන සේක් වා. සුගතයන් වහන්සේ ඉවසන සේක් වා. භාග්යවතුන් වහන්සේට ඉවසන කාලය වෙයි. වහන්ස, භාග්යවතුන් වහන්සේ යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම් ගම් වැසි වූ ද දනවුවැසි වූ ද බ්රාහ්මණ ගෘහපතිහු එදිගට නැමුනාහු මැ වන්නාහ. වහන්ස, යම්සේ මහපොද යුත් වැසි වසිත් ම නිම්න වූ පරිදි මැ (නැමුනු තැන් කරාම) දියගලා යේ ද, වහන්ස, එසෙයින් මැ භාග්යවතුන් වහන්සේ දැන් යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද බමුණු ගැහැවිහු එදිගට නැමුනාහු ම වන්නාහ. වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, භාග්යවතුන් වහන්සේගේ ශීල-ප්රඥා එබඳු මැ යි.
නාගිතයෙනි, මම පිරිවර හා නහමක් එක් වෙම්වා. පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, මම යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබනසුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් මෙ නෙක්ඛම්මසුඛය, පවිවේකසුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබනසුලුයේ, නිදුකින් ලබන සුලුයේ, විපුල කොට ලබන සුලුයේ නොවේ නම්, හේ එ මීඪසුඛය නිද්රාසුඛය ලාභසත්කාරවර්ණභණන සුඛය ඉවසන්නේ ය.