6. 1. 3. 5.
[අනුස්සතිට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සයෙකි.
කවර සයෙක යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ සෙයිනුදු එ භගවත්හු අර්‍හත්හ ... දේව මනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි (තථාගතයන් ගුණ විසින්) අනුස්මරණ කෙරෙයි.
මහණෙනි, යම් සමයක අරීසව් තථාගතයන් අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත සිතෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මියේ මිදුනේ නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (බුද්ධානුස්මෘතිය) ද අරමුණු කොට මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
(2) තවද මහණෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය ... විඥයන් තමා කෙරෙහි ලා දතයුතුය”යි ධර්‍මය අනුස්මරණ කෙරෙයි.
මහණෙනි, යම් සමයෙක්හි අරීසවු ධර්‍මය අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි උහුගේ සිත කෙලෙසුන් කෙරෙන් නික්මියේ මුක්ත වූයේ ගේධයෙන් නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (ධර්‍මානුස්මෘතිය) ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
(3) තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “භාග්‍යවත්හු ගේ ශ්‍රාවක සඞ්ඝ සුපිළිපන් වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා අනුස්මරණ කරයි. මහණෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා මෙනෙහි කෙරේ නම්, එ කල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ උත්‍ථිත වූයේ ඔහුගේ සිත ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ වන්නාහ.
(4) තවද මහණෙනි, අරීසවු අඛණ්ඩ වූ ... සමාධියට වැටෙන තමාගේ ශීලයන් මෙනෙහි කෙරෙයි. මහණෙනි, යම් කලෙක අරීසවු සිල් මෙනෙහි කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ නැගි සිටියේ උජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ වෙත්.
(5) තවද මහණෙනි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙකි. ඒකාන්තයෙන් මට මනා ලාභයෙක ... යදනට යෝග්‍ය වූයෙම්, දානසංවිභාගයෙහි ඇලුනෙම් වෙ මැ”යි තමාගේ ත්‍යාග ගුණය මෙනෙහි කෙරෙයි. මහණෙනි, යම් කලෙක අරීසවු ත්‍යාගය මෙනෙහි කෙරේ නම්, එ කල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල කාමගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ වෙත්.
(6) තවද මහණෙනි, අරීසවු “චාතුම්මහාරාජික දෙවියෝ ඇත. තාවතිංස දෙවියෝ ඇත. යාම දෙවියෝ ඇත. තුසිත දෙවියෝ ඇත. නිම්මාණරති දෙවියෝ ඇත. පරනිම්මිතවසවත්ති දෙවියෝ ඇත. බ්‍රහ්මකායික දෙවියෝ ඇත. ඔවුනට මත්තෙහි දු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හු නම්, මට ද එබඳු ශ්‍රද්ධාව විද්‍යමාන වෙයි. යම්බඳු ශීලයෙකින් ... ශ්‍රැතයෙකින් ... ත්‍යාගයෙකින් ... ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුතව එහි උපන්හු නම්, මට ද එබඳු ප්‍රඥා ඇතැ”යි දෙවියන් මෙනෙහි කරයි. මහණෙනි, යම් කලෙක අරීසවු තමාගේ ද එ දෙවියන්ගේ ද ශ්‍රද්ධාව ද ශීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව ද මෙනෙහි කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ උත්‍ථිත වූයේ ඍජුගත ම වේ. මහණෙනි, ‘ගේධ’ යන ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි.
මහණෙනි, මෙ ද අරමුණු කොට මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධියට යෙත්. මහණෙනි, මෙ අනුස්සතිට්ඨාන සයයි.