6. 1. 1. 6.
[දුතියජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, අඞ්ගසයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. බල සම්පන්න (කායබල ඇත්තේ) ද වෙයි.
මහණෙනි, මෙ අඞ්ග සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ධර්‍මයනට ක්‍ෂම වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ යයි.
6. 1. 1. 7.
[තතියජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, අඞ්ග සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානේයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ජවසම්පන්න (පදජව ඇත්තේ) ද වෙයි.
මහණෙනි, මෙ අඞ්ග සයින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි … ධර්‍මයනට ක්‍ෂම වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
6. 1. 1. 8.
[අනුත්තරිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, මෙ අනුත්තරයෝ සදෙනකි. කවර සදෙනෙක යත්:
දස්සනානුත්තරය, සවණානුත්තරය, ලාභානුත්තරය, සික්ඛානුත්තරය, පාරිචරියානුත්තරය, අනුස්සතානුත්තරය යි.
මහණෙනි, මෙ අනුත්තර ධර්‍ම සදෙන යි.
6. 1. 1. 9.
[අනුස්සතිට්ඨාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, අනුස්මෘතිස්ථාන සදෙනෙකි. කවර සදෙනක යත්:
බුද්ධානුස්මෘති ය, ධර්‍මානුස්මෘති ය, සඞ්ඝානුස්මෘති ය, ශීලානුස්මෘති ය, ත්‍යාගානුස්මෘති ය, දේවතානුස්මෘති ය යි.
මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සදෙන යි.