6. 1. 1. 3.
[ඉන්‍ද්‍රිය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
සද්ධින්‍ද්‍රියයෙන විරියින්‍ද්‍රියයෙන සතින්‍ද්‍රියයෙන සමාධින්‍ද්‍රියයෙන පඤ්ඤින්‍ද්‍රියයෙන, ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයාගෙන වාස කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
6. 1. 1. 4.
[බල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
සද්ධාබලයෙන විරියබලයෙන සතිබලයෙන සමාධිබලයෙන පඤ්ඤාබලයෙන, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට උපයාගෙන වෙසෙයි.
මහණෙනි, මෙ දහම් සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ.
6. 1. 1. 5.
[පඨමජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජ භෝග්‍ය හා වෙයි. ‘රාජාඞ්ගයෙක’ යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. වර්‍ණ සම්පන්න (ශරීර වර්‍ණ ඇත්තේ) ද වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ ද රාජභෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය … හා ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. ධර්‍ම සහනු වෙයි.
මහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
6. 1. 1. 6.
[දුතියජානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, අඞ්ගසයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. බල සම්පන්න (කායබල ඇත්තේ) ද වෙයි.
මහණෙනි, මෙ අඞ්ග සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ධර්‍මයනට ක්‍ෂම වෙයි.
මහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ යයි.