5. 3. 3. 8.
[සමණදුක්ඛ - සුඛ සූත්රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, මේ මහණදුක් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතරග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. සස්නෙහි ඇලුම් නැති ව බඹසර සරයි. මහණෙනි, මේ මහණදුක් පස යි.
මහණෙනි, මෙ මහණ සුව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. සස්නෙහි ඇලුම් ඇති ව බ්රම්සර ද හැසිරෙයි. මහණෙනි, මේ මහණසුව පස යි.
5. 3. 3. 9.
[පරිකුප්ප සූත්රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, මේ අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්ය (කිපෙන සැහැවි ඇති) වූවාහු පිළියම් නොකට හැකියාහු පස් දෙනෙකි. කවර පස් දෙනක යත්:
මව දිවියෙන් තොර කරණ ලදු වෙයි, පියා දිවියෙන් තොර කරණ ලද වෙයි, අර්හත් දිවියෙන් තොර කරණ ලද වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෙහෙ උපදවන ලද වෙයි, සඞ්ඝයා බිඳින ලද වේ.
මහණෙනි, මොහු පස්දෙන අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්ය (පැරණි වණයන් වැනි) වූවාහු පිළියම් නොකට හැකියාහු වෙත් ය යි.
5. 3. 3. 10.
[සම්පදා සූත්රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, මේ ව්යසන (විපත්) පසෙකි. කවර පසෙක යත්:
ඥාතිව්යසනය, භෝගව්යසනය, රෝගව්යසනය, ශීලව්යසනය, ද්රෂ්ටිව්යසන යී.
මහණෙනි, සත්ත්වයෝ ඥාතිව්යසනහේතුවින් වේවයි, භෝගව්යසනහේතුවින් වේවයි, රොගව්යසනහේතුවින් වේවයි, කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම්වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙත්.
මහණෙනි, ශීලව්යසනහේතුවින් වේවයි, දෘෂ්ටිව්යසනහේතුවින් වේවයි සත්ත්වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
මහණෙනි, මේ ව්යසන පස යි.
මහණෙනි, මේ සම්පත් පසෙකි. කවර පසෙක යත්:
ඥාතිසම්පද් හා භෝගසම්පද් හා ආරොග්යසම්පද් හා ශීලසම්පද් හා දෘෂ්ටිසම්පද් හා යැ.
මහණෙනි, සත්ත්වයෝ ඥාතිසම්පද්හේතුවින් වේවයි, භෝගසම්පද්හේතුවින් වේවයි, ආරොග්යසම්පද්හේතුවින් වේවයි කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට නො පැමිණෙත්.
මහණෙනි, සත්ත්වයෝ ශීලසම්පද්හේතුවින් හෝ දෘෂ්ටිසම්පද්හේතුවින් හෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණෙත්.
මහණෙනි, මේ සම්පත් පස යි.
ගිලාන වර්ගය තුන් වැනි යි.
එහි උද්දානය:
ගිලාන සූත්ර ය, සතිසූපට්ඨිත සූත්ර ය, උපට්ඨාක සූත්ර දෙක ය, අනායුස්ස සූත්ර දෙක ය, වපකාස සූත්ර ය, සමණසූඛ සූත්ර ය, පරිකුප්ප සූත්ර ය, සම්පදා සූත්රය දැ යි සූත්ර දශයෙකි.