5. 3. 3. 6.
[ද්විතීය අනායුස්සා සූත්රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, මේ අනායුෂ්ය ධර්ම පසෙකි. කවර පසෙක යත්,
අසත්ප්රායකාරි වෙයි, සත්ප්රායයෙහි මාත්රා නො දනී, අපරිණතභෝජි ද වෙයි, දුශ්හීල ද වෙයි, පවිටු මිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ අනායුෂ්යධර්ම පස යි.
මහණෙනි, මෙ අයුෂ්ය ධර්ම පසෙකි. කවර පසෙක යත්:
සත්ප්රායකාරී වෙයි, සත්ප්රායයෙහි පමණ දනී, පරිණතභෝජි ද වෙයි, සිල්වත් ද වෙයි, කලණමිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ ආයුෂ්ය ධර්ම පසයි.
5. 3. 3. 7.
[වපකාස සූත්රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මේ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් (ලද පරිදි යම් මැ සිවුරකින්) නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්රත්යය භෛෂජ්ය පරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. කාමසංකල්ප බහුල ව ද වෙසෙයි.
මහණෙනි, මෙ පඤ්ච ධර්මයෙන් සමන්වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වේ ය යි.
මහණෙනි, පඤ්ච ධර්මයෙක්න් සමන්වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙයි. කවර පසෛකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්රත්යභෛෂජ්ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. නෛෂ්ක්රම්යසංකල්ප බහුල ව ද වෙසේ.
මහණෙනි, මෙ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙ ය යි.
5. 3. 3. 8.
[සමණදුක්ඛ - සුඛ සූත්රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, මේ මහණදුක් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතරග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. සස්නෙහි ඇලුම් නැති ව බඹසර සරයි. මහණෙනි, මේ මහණදුක් පස යි.
මහණෙනි, මෙ මහණ සුව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. සස්නෙහි ඇලුම් ඇති ව බ්රම්සර ද හැසිරෙයි. මහණෙනි, මේ මහණසුව පස යි.