5. 3. 3. 3.
[දූපට්ඨාක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි. කවර පසෙකින යත්:
අසත්ප්‍රාය (ලෙඩට අහිත) දෑ කරණ සුලුයේ වෙයි. සත්ප්‍රායයෙහි (හිත දෑහි) පමණ නොදන්නේ වෙයි. බෙහෙසද් නො සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකහට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද පවත්නා රෝගය හෝ පවත්නේ ය යි ද යථාභූත ආබාධය පාළ නො කරණුයේ වෙයි. උපන් දුක් වූ තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් නො ඉවසන සුලුයේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වෙයි. කවර පසෙකින යත්:
සත්ප්‍රායකාරී වෙයි. සත්ප්‍රායයෙහි පමණ දන්නේ වෙයි. බෙහෙසද් සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකයාට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද ස්ථිත රෝගය ස්ථිත ය යි ද යථාභූත ආබාධය පාළ කරණුයේ වෙයි. උපන් දුක වු තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් ඉවසන සැහැවි ඇතියේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වූයේ වෙයි.
5. 3. 3. 4.
[ගිලානුපට්ඨාක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලන් උවටනට නො නිසි වෙයි. කවර පසෙකින යත්:
බෙහෙසද් සංවිධාන කරන්නට ප්‍රතිබල නො වෙයි. සත්ප්‍රාය දෑ හා අසත්ප්‍රාය දෑ නො දන්නේ අසත්ප්‍රාය දෑ එළවයි, සත්ප්‍රාය දෑ බැහැර කෙරෙයි. මෙත්සිත් නැතියේ ලාභාපේක්‍ෂා ඇතියේ ගිලනා වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලන්නට ජුගුප්සා ඇතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු දක්වන්නට හෝ සමාදන් කරවන්නට හෝ තෙද ගන්වන්නට හෝ පහන් කරවන්නට හෝ ප්‍රතිබල නො වෙයි.
මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලනුන් උවටනට නො නිසි වෙයි.
මහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත ග්ලානොපස්තථායක ගිලනුන් උවටනට නිස්සේ වෙයි. කවර පසෙකින් යත්:
බෙහෙසද් සංවිධාන කිරීමට ප්‍රතිබල වෙයි. සත්ප්‍රාය හා අසත්ප්‍රාය හා දන්නේ අසත්ප්‍රාය දෑ බැහැර කරයි, සත්ප්‍රාය එළවයි. ලාභාපේක්‍ෂා නැතියේ මෙත්සිතැතියේ ගිලන්හු වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලනුවට ජුගුප්සා නැතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු ගන්වන්නට සමාදන් කරවන්නට උත්සුක කරවන්නට පහදවන්නට ප්‍රතිබල වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායකයා ගිලනුන් වටනට නිසි වේ ය යි.
5. 3. 3. 5.
[ප්‍රථම අනායුස්සා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මේ අනායුෂ්‍ය (දායු හිතනොවු) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
අසත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දන්නේ ය, අපරිණත භෝගී (ගත් අහර නොදිරූ කල්හි අනුභව කරන්නේ) ද වෙයි, නොකල්හි සැරිසරණුයේ වෙයි, බ්‍රම්සර නැතියේ ද වෙයි. මහණෙනි ,මේ අනායුෂ්‍යධර්‍ම පස යි.
මහණෙනි මේ ආයුෂ්‍ය (අයුෂට හිතකර) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
සත්ප්‍රායකාරී වේ, සත්ප්‍රායයෙහි මාත්‍රා දන්නේ ය, පරිණතභෝජි ද වෙයි, කල්හි හැසිරෙණුයේ ද වෙයි, බ්‍රම්සර ඇතියේ ද වෙයි. මහණෙනි ,මේ ආයුෂ්‍ය ධර්‍ම පස යි.
5. 3. 3. 6.
[ද්විතීය අනායුස්සා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, මේ අනායුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්,
අසත්ප්‍රායකාරි වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දනී, අපරිණතභෝජි ද වෙයි, දුශ්හීල ද වෙයි, පවිටු මිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ අනායුෂ්‍යධර්‍ම පස යි.
මහණෙනි, මෙ අයුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
සත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි පමණ දනී, පරිණතභෝජි ද වෙයි, සිල්වත් ද වෙයි, කලණමිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ ආයුෂ්‍ය ධර්‍ම පසයි.