5. 3. 3. 1.
[ගිලාන සූත්‍රය]
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලායෙහි මහාවනයෙහි වූ කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැඟී සිටි සේක් ගිලන්හල කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එක්තරා දුබල ගිලන් මහණකු දුටු සේක. දැක පැන්වූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක:
මහණෙනි, පඤ්චධර්‍ම කෙනෙක් යම් කිසි දුබල ගිලනක්හු නොපියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිතවූ චිත්තවිමුක්තිය ද, ප්‍රඥාවිමුක්තිය ද තෙමේ දැනැ ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි. කවර පස් දෙනෙක් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කරජකායයෙහි අශුභය නුවණින් දක්මින් වෙසෙයි. ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, හැම සංස්කාරයෙහි අනිත්‍යානුදර්ශීව වෙසෙයි. මරණසංඥාව ඔහුගේ සිත්හි මොනොවට එළඹ සිටියා වෙයි.
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ යම් කිසි දුබල ගිලනක්හු නො පියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රව ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය තෙමේ දැනැ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි.
5. 3. 3. 2.
[සතිසූපට්ඨිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, කරුණු පසක් වඩා නම්, කරුණු පසක් බහුල කෙරේ නම්, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇතිවත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අධ්‍යාත්මයෙහිම ස්මෘතිය මැනැවින් එළැඹ සිටියා වෙයි. ස්කන්‍ධධර්‍මයන්ගේ උදයව්‍යය පිරිසිඳිනට සමර්‍ත්‍ථ වූ ප්‍රඥායෙන් කයෙහි අශුභානුදර්ශි වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ පඤ්චධර්‍මයන් වඩනේ ද, මේ පඤ්චධර්‍මයන් බහුල කෙරේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන්ගෙන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු යි.
5. 3. 3. 3.
[දූපට්ඨාක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි. කවර පසෙකින යත්:
අසත්ප්‍රාය (ලෙඩට අහිත) දෑ කරණ සුලුයේ වෙයි. සත්ප්‍රායයෙහි (හිත දෑහි) පමණ නොදන්නේ වෙයි. බෙහෙසද් නො සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකහට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද පවත්නා රෝගය හෝ පවත්නේ ය යි ද යථාභූත ආබාධය පාළ නො කරණුයේ වෙයි. උපන් දුක් වූ තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් නො ඉවසන සුලුයේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වෙයි. කවර පසෙකින යත්:
සත්ප්‍රායකාරී වෙයි. සත්ප්‍රායයෙහි පමණ දන්නේ වෙයි. බෙහෙසද් සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකයාට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද ස්ථිත රෝගය ස්ථිත ය යි ද යථාභූත ආබාධය පාළ කරණුයේ වෙයි. උපන් දුක වු තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් ඉවසන සැහැවි ඇතියේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වූයේ වෙයි.
5. 3. 3. 4.
[ගිලානුපට්ඨාක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලන් උවටනට නො නිසි වෙයි. කවර පසෙකින යත්:
බෙහෙසද් සංවිධාන කරන්නට ප්‍රතිබල නො වෙයි. සත්ප්‍රාය දෑ හා අසත්ප්‍රාය දෑ නො දන්නේ අසත්ප්‍රාය දෑ එළවයි, සත්ප්‍රාය දෑ බැහැර කෙරෙයි. මෙත්සිත් නැතියේ ලාභාපේක්‍ෂා ඇතියේ ගිලනා වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලන්නට ජුගුප්සා ඇතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු දක්වන්නට හෝ සමාදන් කරවන්නට හෝ තෙද ගන්වන්නට හෝ පහන් කරවන්නට හෝ ප්‍රතිබල නො වෙයි.
මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලනුන් උවටනට නො නිසි වෙයි.