5. 3. 2. 3.
[සම්මාසමාධි සූත්රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ සම්යක් සමාධියට එළඹ වාස කරන්නට අභව්ය (නුසුදුසු) වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නො සහනේ වෙයි. ගන්ධයන් නො සහනේ වෙයි. රසයන් නො සහනේ වෙයි. ස්ප්රෂ්ටව්යයන් නො සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි ඇලුනේ වෙයි.)
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ සම්යක් සමාධියට එළඹ වෙසෙනුවට අභව්ය වෙයි.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ සම්යක් සමාධියට එළඹ වාසකරණුවට භව්ය වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් සහනේ වෙයි. ශබ්දයන් සහනේ වෙයි. ගන්ධයන් සහනේ වෙයි. රසයන් සහනේ වෙයි. ස්ප්රෂ්ටව්යයන් සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි නො ඇලුනේ වෙයි.)
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ සම්යක්සමාධියට එළඹ වසන්නට භව්ය වෙ යි.
5. 3. 2. 4.
[අන්ධකවින්ද සූත්රය]
14. එක් කලෙක භාග්යවතුන් වහන්සේ මගධරට අන්ධකවින්දයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් කරා එළඹියහ. එළඹ භාග්යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
ආනන්දයෙනි, නවක වූ පැවිදිව නොබෝ කල් ඇති මෙ සස්නට අලුත පැමිණි යම් භික්ෂු කෙනෙක් වෙත් නම්, ආනන්දයෙනි, තොප විසින් එ මහණහු පස්දහමෙක සමාදන් කරවිය යුතු වෙති. යෙදවිය යුතු වෙති. පිහිටුවිය යුතු වෙති. කවර පසෙක යත්:
“එව ඇවැත්නි, තෙපි සිල්වත් වැ, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘතව වසව, අණුමාත්ර වරදෙහිදු භය දක්නාහු, ආචාරගෝචරසම්පන්න වූවහු සමාදන් කොටගෙන සිකපදයෙහි මොනවට හික්මෙව” යි සීල සංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
“එව ඇවැත්නි, තෙපි ඉන්ද්රියයෙහි පියු දොර ඇතිවැ වසවු, (ද්වාරයන්) ආරක්ෂා කරණ සිහි ඇතිවැ (ද්වාරයන්) රක්නා සිහි නුවණ ඇතිවැ මොනවට රක්නාලද සිත් ඇතිවැ ස්මෘති ආරක්ෂා සහිත සිතින් සමන්වාගත වූවහු වාස කරව” යි ඉන්ද්රියසංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
“එව ඇවැත්නි, තෙපි කථාප්රර්ය්යන්ත ඇති වැ අල්පකථා ඇතිවව” යි මෙසේ කථාප්රර්ය්යන්තයෙහි (සීමාසහිත කථායෙහි) සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
“එව ඇවැත්නි තෙපි අරණ්යසෙනසුන් ඇති වව, අරණ්යයෙහි වානප්රස්ථ ප්රාන්තශයනාසනයන් සේවන කරව” යි මෙසේ කායවිවේකයෙහි සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
“එව ඇවැත්නි, තෙපි සම්දිටු ඇත්තාහු සම්යග් දර්ශනයෙන් සමන්වාගත වව” යි මෙසේ සම්යග්දර්ශනයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහ.
ආනන්දයෙනි, නවක වූ, පැවිදිව නොබෝ කල් ඇති, මේ ධම්මවිනයට අලුත පැමිණි, යම් මහණහු වෙත් නම් තොප විසින්, ආනන්දයෙනි, එ මහණහු මේ පඤ්චධර්මයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහයි.
5. 3. 2. 5.
[මච්ඡරී සූත්රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
ආවාසයෙහි මසුරුබව ඇත්තී වෙයි, කුලයෙහි මසුරුබව ඇත්තී වෙයි, ලාභයෙහි මසුරුබව ඇත්තී වෙයි, වර්ණ (ගුණ) යෙහි මසුරුබව ඇත්තී වෙයි, ධර්මයෙහි මසුරුබව ඇත්තී වෙයි.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමාත්සර්ය්ය ඇත්තී නො වෙයි, කුල (උපස්ථායක කුලයෙහි) මාත්සර්ය්ය ඇත්තී නො වෙයි, ලාභමාත්සර්ය්ය ඇත්තී නො වෙයි, වර්ණමාත්සර්ය්ය ඇත්තී නො වෙයි, ධර්මමාත්සර්ය්ය ඇත්තී නොවේ.
මහණෙනි, මේ ධර්මපසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදනී) වෙයි.
5. 3. 2. 6.
[වණ්ණා සූත්රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
නො දැන නො විමසා අවර්ණාර්හයාට (ගුණනැත්තාහට) වර්ණ (ගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා වර්ණාර්හයාට (ගුණැත්තාහට) අවර්ණ (අගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා නො පැහැදිය යුතු තන්හි ප්රසාදය උපදවයි. නො දැනැ නො විමසා පැහැදිය යුතු තන්හි අප්රසාදය උපදවයි. ශ්රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දෙය) විනිපාතන (නසාලිම්) කෙරෙයි.
මහණෙනි, මේ පඤ්ච ධර්මයෙන් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.