5. 3. 1. 1.
[සේඛවේසාරජ්ජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, ශෛක්‍ෂයාගේ වෙසරද බව කරණ මේ ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල් ඇතියේ වෙයි, බහුශ්‍රුත වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, පැණැතියේ වේ.
මහණෙනි, ශ්‍රද්ධා නැතියහට යම් ශාරද්‍යයෙක් (දොම්නසෙක්) වේ නම්, ශ්‍රද්ධා ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි. (ශෛක්‍ෂපුද්ගලයාගේ විශාරදභාවය කරන්නේ වේ.)
මහණෙනි, දුසිල්හට යම් ශාරද්‍යයෙක් වේ නම්, සිල්වත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, අල්ප ශ්‍රැතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, බහුශ්‍රැතයාහට එ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, කුසීතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, රුකුළුවැර ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මේ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, දුෂ්ප්‍රාඥයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, ප්‍රඥාවත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
මහණෙනි, මෙ දහම් පස සේඛවේසාරජ්ජකරණ යි.
5. 3. 1. 2.
[සඞ්කිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ අකෝප්‍යධර්‍ම ඇති ක්‍ෂීණාස්‍රව වූයේ නමුදු පාපභික්‍ෂුයැයි මතුමතුයෙහි සැක කරණ ලදුයේ හැම සෙයින් සැක කරණ ලදුයේ වෙයි. කවර පසෙකිනයත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ගණිකාව ගෝචර (එළැඹිය යුතු තැන්) කොට ඇතියේ හෝ වෙයි, වැන්දඹුව ගෝචර කොට ඇතියේ හෝ වෙයි, ථුල්ලකුමාරි (විවාහයට නොගිය මහලු කුමරිය) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, පණ්ඩක (නපුංසක) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, මෙහෙණ ගෝචර කොට ඇතියේ හෝ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ අකෝප්‍යධර්‍ම ඇතියේ නමුදු පාපභික්‍ෂු යයි මෙරමා විසින් මතු මතුයෙහි සැක කරණ ලදුයේ හැමසෙයින් සැක කරණ ලදුයේ වේ යයි.
5. 3. 1. 3.
[මහා චෝර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධි දූ බිඳියි. වොලොගැනුමුදු කෙරෙයි. ගෙපැහැරුම් (එක් ගෙයක් වටලා පැහැර ගැණීම් ද) කෙරෙයි. කඩපලාසොරකම් (පල්හොරකම්) ද කෙරෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමනිඃශ්‍රිත ද වෙයි, ගහනනිඃශ්‍රිත ද වෙයි, බලවන්නිඃශ්‍රිත ද වෙයි, භෝගචාගී ද වෙයි, ඒකචාරී ද වේ.
මහණෙනි, මහසොර කෙසේ නම් විෂමනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර නදීවිදුර්‍ගයෙක් වේවයි, පර්‍වතවිෂමයෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහසොර විෂමනිඃශ්‍රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර ගහනනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර තෘණගහනයෙක් වේවයි, වෘක්‍ෂගහනයෙක් වේවයි, ඝනවන ලැහැබෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහනනිඃශ්‍රිත වෙයි.
මහණෙනි, මහසොර කෙසේ නම් බලවන්නිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජහු හෝ, රජමහමැතියකු හෝ, ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ රජහු හෝ රජමහමැතියෝ හෝ මාගේ දෝෂය ඹබා පියා අරුත් බණන්නාහ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, රජහු හෝ රජමහමැතිහු හෝ ඔහුගේ අපරාධය ඔබාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසෙයින් මහසොර බලවන්නිඃශ්‍රිත වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර භෝගචාගී වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර මහාධන ඇති මහා භොග ඇති ආඪ්‍යයෙක් වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් (දොසක්) කියා නම්, මේ භෝගයෙන් පිළිසතර කරන්නෙමියි (‘භෝගදානයෙන් දොස් වසාගන්නෙමි’ යි). ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කී නම්, හේ භෝගයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙ සෙයින් මහසොර භෝගචාගී වෙයි.
මහණෙනි, කෙසේ නම් මහසොර ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර එකලා වූයේ මැ මෙරමා සතු දැය පැහැර ගැණීම් කරන්නේ වෙයි. එ කවර හෙයින යත්: මාගේ ගුහ්‍යමන්ත්‍රයෝ (සැඟවිය යුතු රහස්) නහමක් බැහැර නො යෙත් වා යි. මහණෙනි, මෙසේ මහසොර ඒකචාරී වෙයි.
මහණෙනි, මෙ කරුණු පසෙන් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධිදු සිඳුනේ ය. වොලො ගන්නේ ය. ගෙපැහැරීම් ද කරන්නේ ය. කඩපලා සොරකම් ද කෙරෙයි.