5. 2. 5. 8.
[සිවුවන අකුප්ප සූත්රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණ ආනාපානසතිය බහුල කරණුයේ අර්හත්ත්වය පිළිවිදිනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්ය ඇතියේ සුභර වූයේ ජීවිත පරිෂ්කාරයෙහි මොනොවට සතුටු වූයේ අල්පසමාරම්භ ඇති වෙයි. අනෞදරිකත්වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්ය්යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. අරණෙහි වසන සුලුයේ ප්රාන්තශයනාසන ඇතියේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්රත්යවේක්ෂා කරන්නේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ආනාපානසතිය බහුල කොට වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්හත්ත්වය පිළිවිදුනේ යි.
5. 2. 5. 9.
[සීහ සූත්රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් කාලයෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසස්ථානයෙන් නික්මැ වජඹනේ (කය පොළා වෙරගන්නේ) ය. වැජැඹැ හාත්පස සිවුදිගුන් අනුවිලෝකනා කරන්නේ ය. වටා සිවුදිගුන් නහමා තුන්යලක් සිංහනාද කරන්නේ ය. තෙවිටක් සිංහනාද කොට ගොදුරු සඳහා නික්මැ යෙයි.
හේ ඇතක්හට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. මිහිවකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නොදෙයි. ගවයකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. දිවියකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. ක්ෂුද්රක ප්රාණීනට නමුදු පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. යටත් පිරිසෙයින් සා බළලුනට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. කවර හෙයින යත්: මාගේ යෝග්යපථය (අභ්යාසමාර්ගය) නහමක් නසීවයි.
මහණෙනි, සිංහ යනු අර්හත් සම්යක් සම්බුද්ධ තථාගතයනට තෙල නමෙකි. මහණෙනි, තථාගතයෝ පර්ෂද්හි දහම් දෙසති යන යමෙක් වේ නම්, මෙ ඔවුන්ගේ සිංහනාද වෙයි.
මහණෙනි, භික්ෂූනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, මෙහෙණනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ උවසුවනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් උවැසියනට ද තථාගතයෝ දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ පුහුදුනට ද යටත් පිරිසෙයින් අන්නහාර (තෘණහාරකයනට) හා ලිහිණිවැද්දනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, තථාගතයෝ ධර්මය ගුරු කොට ඇතියහ. ධර්ම ගෞරව ඇතියහ.
5. 2. 5. 10.
[කකුධ සූත්රය]
50. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් මහාමෞද්ගල්යාන තෙරණුවන්ගේ උපස්ථායක වූ කකුධ නම් කෝලිය පුත්ර නොබෝ දිනෙකින් කලුරිය කෙළේ අන්යතර මනෝමයදේවනිකායේක්හි උපන්නේ වෙයි. ඔහුට මෙබඳු වූ අත්මභාව (ශරීර) ප්රතිලාභයෙක් වෙයි. එනම්: මගධදේශයට අයත් ග්රාමක්ෂේත්ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එ පමණ වූවෙකි. හේ එ ආත්මභාව ප්රතිලාභයෙන් තමා වේවයි මෙරමා වේවයි නො මැ පෙළයි.
ඉක්බිති කකුධ දේවපුත්ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි කකුධදෙවපුත්ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන්හට තෙල කී ය: “වහන්ස, දෙව්දතුනට ‘මම බික් සඟුන් පිළිදගුම්ව’යි යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදය හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ”යි කකුධදෙවපුත්ර මෙය කී ය. මෙය කියා ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
එකළ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
“වහන්ස, මාගේ උපස්ථායක වූ කකුධ නම් කෝලියපුත්ර නොබෝදා කලුරිය කෙළේ අන්යතර මනෝමයකායයෙක්හි උපන. ඔහුගේ ආත්මභාවප්රතිලාභය මගධ දෙශීය ග්රාමක්ෂේත්ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එපමණ වූයේ වෙයි. හේ ඒ අත්බැවින් තමා හෝ මෙරමා නො මැ පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දේවපුත්ර මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. වහන්ස, එකත්පස්ව සිටි කකුධ දේවපුත්රයා මට තෙල කරුණ කී ය: වහන්ස, දේවදත්ත හට ‘මම බික්සඟුන් පරිහරණය කෙරෙමි’ යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදයාගේ උපත් හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ යි. වහන්ස, කකුධදේවපුත්රයා මෙය කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ” යයි.
මුගලන කිමෙක, තා විසින් කකුධදේවපුත්රයා සියසිතින් ඔහු සිත පිරිසිඳ දන්නා ලද ද: ‘යමක් කකුධ දේවපුත්රයා කියා නම්’ එ හැම අන් පරිද්දෙකින් නොව එපරිද්දෙන් මැ වේ ය’ යි කියා යි.
වහන්ස, “කකුධ දේවපුත්ර යමක් කියා නම්, එ හැම එපරිදි මැ වෙයි. අන්පරිදි නො වේ ය”යි ම විසින් මා සිතින් ඹහු සිත පිරිසිඳ කකුධ දේවපුත්ර දන්නා ලද්දේ ය. මුගලන, තෙල බස රකුව. දැන් එ (දේවදත්ත) මෝඝපුරුෂයා තෙමේ මැ තමා පළ කරන්නේ ය යි.