5. 2. 5. 6.
[දෙවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය සෙවුනේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර (පෝෂණයට පහසු) වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පවූ ක්‍රියා සමාරම්භ ඇතියේ වෙයි. අනෞදරිකත්‍වයෙහි (අහරෙහි නොගිජු බැව්හි) යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි (නිදිවැරීමෙහි) යෙදුනේ අල්පමිද්ධ වෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය (රැස්කරගත් ශ්‍රැත) ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය මැනැවින් කියත් ද, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය ඇසුරු කරණුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
5. 2. 5. 7.
[තෙවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පසමාරම්භ වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. කෙලෙස් ලියා ලන චිත්තවිවරණයට සත්ප්‍රාය වන අප්පිච්ඡකථා ... (සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා) යන යම් දස කථායෙක් වේ නම්, එබඳු කථා කැමැතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය.
මහණෙනි, මෙ කරුණුපසින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
5. 2. 5. 8.
[සිවුවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කරණුයේ අර්‍හත්ත්‍වය පිළිවිදිනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිත පරිෂ්කාරයෙහි මොනොවට සතුටු වූයේ අල්පසමාරම්භ ඇති වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. අරණෙහි වසන සුලුයේ ප්‍රාන්තශයනාසන ඇතියේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කොට වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
5. 2. 5. 9.
[සීහ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් කාලයෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසස්ථානයෙන් නික්මැ වජඹනේ (කය පොළා වෙරගන්නේ) ය. වැජැඹැ හාත්පස සිවුදිගුන් අනුවිලෝකනා කරන්නේ ය. වටා සිවුදිගුන් නහමා තුන්යලක් සිංහනාද කරන්නේ ය. තෙවිටක් සිංහනාද කොට ගොදුරු සඳහා නික්මැ යෙයි.
හේ ඇතක්හට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. මිහිවකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නොදෙයි. ගවයකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. දිවියකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. ක්‍ෂුද්‍රක ප්‍රාණීනට නමුදු පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. යටත් පිරිසෙයින් සා බළලුනට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. කවර හෙයින යත්: මාගේ යෝග්‍යපථය (අභ්‍යාසමාර්‍ගය) නහමක් නසීවයි.
මහණෙනි, සිංහ යනු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට තෙල නමෙකි. මහණෙනි, තථාගතයෝ පර්‍ෂද්හි දහම් දෙසති යන යමෙක් වේ නම්, මෙ ඔවුන්ගේ සිංහනාද වෙයි.
මහණෙනි, භික්‍ෂූනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, මෙහෙණනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ උවසුවනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් උවැසියනට ද තථාගතයෝ දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ පුහුදුනට ද යටත් පිරිසෙයින් අන්නහාර (තෘණහාරකයනට) හා ලිහිණිවැද්දනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, තථාගතයෝ ධර්‍මය ගුරු කොට ඇතියහ. ධර්‍ම ගෞරව ඇතියහ.