5. 2. 5. 4.
[ඵාසුවිහාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන්, ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වාස කෙරෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චඵාසු විහරණයෝ යි.
5. 2. 5. 5.
[අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූ මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අර්‍ත්‍ථප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ධර්‍මප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. නිරුක්තිප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ප්‍රතිභානප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. යථාවිමුක්තචිත්තය (සිත කෙලෙසුන්ගෙන් මිදුණු සැටිය) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය.
5. 2. 5. 6.
[දෙවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය සෙවුනේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර (පෝෂණයට පහසු) වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පවූ ක්‍රියා සමාරම්භ ඇතියේ වෙයි. අනෞදරිකත්‍වයෙහි (අහරෙහි නොගිජු බැව්හි) යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි (නිදිවැරීමෙහි) යෙදුනේ අල්පමිද්ධ වෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය (රැස්කරගත් ශ්‍රැත) ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය මැනැවින් කියත් ද, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය ඇසුරු කරණුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
5. 2. 5. 7.
[තෙවන අකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
47. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පසමාරම්භ වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. කෙලෙස් ලියා ලන චිත්තවිවරණයට සත්ප්‍රාය වන අප්පිච්ඡකථා ... (සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා) යන යම් දස කථායෙක් වේ නම්, එබඳු කථා කැමැතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය.
මහණෙනි, මෙ කරුණුපසින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.