5. 1. 3. 9.
[චඞ්කමානිසංස සූත්රය]
29. මහණෙනි, චංක්රමයෙහි මේ අනුසස්හු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
අධන්ගමන් සැහිය හැකි වෙයි. ප්රධන්වීර්ය්යයට ක්ෂම වෙයි. අල්පාබාධ වෙයි. අසිතය, පීතය, ඛායිතය හා සායිතය සම්යක්පරිණාමයට යෙයි. චංක්රමාධිෂ්ඨානයෙන් අධිගත සමාධිය චිරස්ථිතික වෙයි.
මහණෙනි, මොහු චංක්රමයෙහි පඤ්චානිසංස වෙතියි.
5. 1. 3. 10.
[නාගිත සූත්රය]
30. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි චාරිකා කරණ සේක් මහත් බික්සඟුන් හා ඉච්ඡානඞ්ගල නම් කෝශලයන්ගේ බ්රාහ්මණ ග්රාමයට වැඩිසේක. භාග්යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩ වසන සේක.
ඉච්ඡානඞ්ගලයෙහි වාසය කරණ බ්රාහ්මණ ගෘහපතිහු “ශාක්යපුත්ර ශ්රමණ භවත් ගෞතමයෝ ශාක්යකුලයෙන් නික්ම පැවිදි වූවාහු ඉච්ඡානඞ්ගලයට ක්රමයෙන් ප්රාප්තවූවාහු ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි විහරණ කෙරෙති”යි -
“ඒ භාග්යවත්හු මෙ කරුණෙනුදු අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, විද්යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්යසාරථිහ, දේවමනුෂ්යයනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන්ගේ මෙබඳු කල්යාණකීරිතිඝෝෂයෙක් උස්ව නැංගේය. ඔහු දෙවියන් සහිත මරුන් සහිත බ්රහ්මයන් සහිත ලෝකය, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට දෙසන්නාහ.-
“ඔහු ආදිකල්යාණ කොට මධ්යකල්යාණ කොට පර්ය්යවසානකල්යාණ කොට සාර්ත්ථ කොට සව්යඤ්ජන කොට කේවල පරිපූර්ණ කොට පරිශුද්ධ කොට දහම් දෙසති. (එසේ දෙසමින් ශාසනමාර්ග) බ්රහ්මචර්ය්යය ප්රකට කෙරෙති. එබඳු අරහතුන්ගේ දර්ශනය මනා වේ යයි” ඇසූහ.
ඉක්බිති ඉච්ඡානඞ්ගලවැසි බ්රාහ්මණගෘහපතිහු එ රැය ඇවෑමෙන් බොහෝ ඛාද්ය භෝජ්යයන් රැගෙණ ඉච්ඡානඞ්ගලවනෂණ්ඩයට එළඹියහ. එළඹ බිහිදොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇත්තාහු සිටගත්හ.
එ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්යවත්හුගේ උපස්ථායක වෙත්. එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: “නාගිතයෙනි, මත්ස්ය විලෝපයෙහි (විකුණන තැන) කෛවර්තයන් බඳු උස් හඬ ඇති මහ හඬ ඇති ඔහු කවරහ?”යි. “වහන්ස, තෙල ඉච්ඡානඞ්ගල වාසී බ්රාහ්මණ ගෘහපතිහු බොහෝ ඛාද්යභෝජ්ය රැගෙණවුත් භාග්යවතුන් වහන්සේ ද භික්ෂුසඞ්ඝයා ද උදෙසා බිහිදොර කොටුයෙහි සිටියාහු ය”යි.
නාගිතයෙනි, මම යශස් හා සමාගත නො වෙම්වා. යශස් ද මා හා සමාගත නොවේවා. නාගිතයෙනි, මම යම් නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසමසුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලු වෙම් නම්, නිදුක් සේ ලබන සුලු වෙම් නම්, විපුල කොට ලබන සුලු වෙම් නම්, (එසේ මා ලබන) මේ නෙක්ඛම්මසුඛය පවිවේකසුඛය උපසමසුඛය සම්බෝධසුඛය යමෙක් කැමැති සේ ලබන සුලු නොවී නම්, නිදුක්සේ ලබන සුලු නොවී නම්, විපුල කොට ලබන සුලු නොවී නම්, හෙතෙම එ අශුචිසුඛය, නිද්රාසුඛය, ලාභසත්කාරයෙන් හා වර්ණභණනයෙන් උපන් සුඛය ඉවසන්නේය.
“වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේ ඉවසන සේක්වා, සුගතයන් වහන්සේ ඉවසන සේක්වා. වහන්ස, දැන් භාග්යවතුන් වහන්සේට ඉවසන කාලයයි. වහන්ස, යම් ම දිගෙක භාග්යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණන් හා ගැහැවිහුදු නියම්ගම් වැස්සන් හා දනවුවැසියෝ ද එදිගට නැඹුරු වූවාහු ම වෙති.
වහන්ස, යම් පරිදි මහ පොද ඇති වට වස්නා කල්හි නිම්නභූමිය අනුව ම උදකයෝ වටනාහු ද, වහන්ස, එපරිදි ම යම් ම දිගෙක්හි භාග්යවතුන් වහන්සේ වඩනා සේක් නම්, බමුණුගෙහෙවියෝ ද නියම්ගම්දනවුවැස්සෝ ද එදිගට නැඹුරුවන්නාහ. එ කවර හෙයින යත්: වහන්ස, භාග්යවතුන් වහන්සේගේ ශීලය හා ඥානය එබඳු ම (ජනප්රිය වනු ම) බැවිනි.
නාගිතයෙන්, මම් යශස හා නහමක් සමාගත යෙම්වා, යශස් ද මා හා නහමක් සමාගත වේවා. නාගිතයෙනි, මම් යම් ම නෛෂ්ක්රම්ය සුඛයක් ප්රවිවේක සුඛයක් ව්යපශම සුඛයක් සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුල්ලෙම්, නිදුකින් ලබන සුල්ලෙම්, විපුලසේ ලබන සුල්ලෙම් වෙම් ද, යමෙක් මේ නෛෂ්ක්රම්ය සුඛය, ප්රවිවේක සුඛය, ව්යපශමසුඛය, සම්බෝධසුඛය කැමැතිසේ නොලබන සුලුයේ, නිදුකින් නොලබන සුලුයේ විපුලසේ නොලබන සුලුයේ වේ නම්, හෙ ඒ අපවිත්ර සුඛය, නිද්රාසුඛය, ලාභ සත්කාරයෙන් හා වර්ණභණනයෙන් උපදනා සුඛය ඉවසන්නේය. නාගිතයෙනි, අසිත, පීත, ඛායිත සායිතයාගේ වනාහි මහවටත් සුලුවටත් (මලමූ) ම වෙයි. තෙල උහුගේ නිෂ්යන්ද (ඵලය) යි.