5. 1. 3. 7.
[සමාධි සූත්‍රය]
27. මහණෙනි, අප්‍රමාණ (ලෝකුත්තර) වූ සමාධිය නුවණැති ව ස්මෘතිසමන්‍වාගතව වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති ව ස්මෘතියෙන් යුක්තව අප්‍රමාණ සමාධිය වඩනවුනට තමා කෙරෙහි ම ප්‍රත්‍යවේක්‍ෂාඥාන පස් දෙනෙක් උපදනාහ. කවර පස්දෙනෙක යත්:
“මේ (අර්‍හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්න (අධිගත ක්‍ෂණයෙහිත්) සුඛ ඇතියේ ය’යි ද මතුයෙහිත් සුඛවිපාක ඇතියේ ය”යි ද තමා කෙරෙහි ම ඤාණය උපදනේ ය. “මේ සමාධිය කෙලෙසුන්ගෙන් තොරය, ලෝකාමිසයෙන් තොරය” යි ද තමා තුළම ඤාණය උපදනේය. මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවුනා ලද ය”යී තමා තුළම ඤාණය උපදනේය. “මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, කෙලෙස් සන්සිඳවූවහු විසින් ලබන ලදය, එකාග්‍රතායෙන් ලබන ලදය, සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීක ධර්‍මයන් නිගෙණ (සාසවසමාධි මෙන්) උත්සාහයෙන් කෙලෙස් වළහා ලද්දේ නො වේ ය”යි තමා තුළ ම ඤාණය උපදනේ ය. “එ මම සිහි ඇතියෙම් ම මෙ සමාධියට සමවදිමි. සිහි ඇතියෙම් ම ඉන් නැගෙමි”යි තමා තුළම ඤාණය උපදනේය.
මහණෙනි, නුවණැති ව එළඹ සිටි සිහි ඇති ව අප්‍රමාණසමාධිය වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති එළඹ සිටි සිහි ඇති අප්‍රමාණසමාධිය වඩනවුනට මේ පඤ්චඤාණයෝ තමා තුළ ම උපදනාහයි.
5. 1. 3. 8.
\[\[පඤ්චඞ්ගිකසමාධි සූත්‍රය\]\]
28. මහණෙනි, පසඟින් යුත් ආර්‍ය්‍ය වූ සම්‍යක්සමාධිහුගේ භාවනාව දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය, වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, ආර්‍ය්‍ය වූ පඤ්චාඞ්ග සමන්‍වාගත සම්‍යක් සමාධිහුගේ භාවනා කවර යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. හෙ මෙ කරජකය ම ප්‍රථමධ්‍යාන විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛයෙන් තෙත් ගන්වයි. හාත්පස තෙමයි. හාත්පසින් පුරවයි. වටා පතුරුවයි. ඔහුගේ හැම ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කායයාගේ කිසිවක් විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, දක්‍ෂ වූ නැවෑමියෙක් වේවයි නැවෑමි අතවැස්සෙක් වේවයි කස්තලියෙහි නහනසුණු හෙළා දියෙන් ඉස ඉස යම් සේ හනා ද, ඔහුගේ ස්නානීයපිණ්ඩය උදකස්නේහය අනුව ගියේ ස්නෙහ පරිගත වූයේ ඇතුළත - පිටත දියෙන් පහස්නා ලද්දේ නො ද වැගිරෙයි. මහණෙනි, එ පරිදි ම මහණ මේ කරජකය විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමා ලයි. වටා තෙමා ලයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. සර්‍වාඞ්ගයෙන් යුතු ඔහුගේ කායයාගේ කිසිත් විවෙකජප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද නො වෙයි. මහණෙනි, පඤ්චාඞ්ග සමන්‍වාගත ආර්‍ය්‍ය සම්‍යක්සමාධිහුගේ මේ ප්‍රථම භාවනාවයි.
(2) තවද මහණෙනි, මහණ විතර්‍ක - විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ කරජකය ම සමාධිජ ප්‍රීතිසුඛයෙන් මැනැවින් තෙමයි. හාත්පසින් තෙමයි. හාත්පසින් පුරවයි. වටා පහසයි. ඔහුගේ සියලු ප්‍රත්‍යඞ්ගයෙන් යුත් කිසිදු ශරීරාඞ්ගයෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ඇතුළත උනන දිය ඇති දිය විලෙක් යම් බඳු වේ නම්, එයට පැදුම් දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. පැළදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. උතුරුදිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේය. දකුණු දිගින් උදකයාගේ ආගමනමුඛයෙක් නො වන්නේ ය. මේඝය ද කලින් කල සම්‍යක් වර්‍ෂාධාරාව නො වස්වන්නේ ය. වැලිත්, එ දියවිලින් සීතවාරිධාරායෙක් බිඳ නැගී එ දියවිල ම සිහිල් දියෙන් තෙමන්නේය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේ ය. වටා පතුරුවන්නේ ය. එ සියලු දියවිල්හි කිසිවක් සිහිල්දියෙන් නො පහළේ නො වේ. මහණෙනි, එ පරිදි ම මහණ මෙ කය ම සමාධිජප්‍රීතිසුඛයෙන් තෙමන්නේ ය. හාත්පස තෙමන්නේ ය. පුරවන්නේය. පතුරන්නේ ය. ඔහුගේ සියලු සිරිරි පිළිබඳ කිසිදු තැනක් සමාධිජප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, ආර්‍ය්‍ය පඤ්චාඞ්ගික සම්‍යක්සමාධිහුගේ මේ ද්විතීය භාවනා යි.
(3) තවද මහණෙනි, මහණ ප්‍රීතිහුගේත් විරාගයෙන් ... සුඛයද කයින් විඳී ... ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හෙ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් තෙමයි. හාත්පස තෙමයි. පුරවයි. පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයාගේ කිසිවක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වේ.