5. 1. 3. 1.
[පඨමඅගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති යටත් පැවතුම් නැති විසදෘශජීවිතවෘත්ති ඇති, එ මහණ එකැතියෙන් (වත් විසින් ප්‍රඥප්තශීලය වූ) ආභිසමාචාරික (උත්තමාචාර) ධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. (උත්තමසමාචාර සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්‍මය නො පුරා (ශෛක්‍ෂප්‍රඥප්ති ශීලසඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා (සතරමහ) සිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සිල් නො පුරා (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග්දෘෂ්ටිය නො පුරා (මාර්‍ග-ඵල) සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය (=යටත් පැවැතුම්) ඇති, සභාගවෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරික ධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සිල් පුරා සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
5. 1. 3. 2.
[දුතියඅගාරව සූත්‍රය]
22. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති, ප්‍රතිශ්‍රය නැති, විසභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. ආභිසමාචාරිකධර්‍මය නො පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශීලස්කන්‍ධය නො පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සමාධිස්කන්‍ධය නො පුරා ප්‍රඥාස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය ඇති, සභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශීලස්කන්‍ධය පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සමාධිස්කන්‍ධය පුරා ප්‍රඥාස්කන්‍ධ්‍ය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ.
5. 1. 3. 3.
[උපක්කිලේස සූත්‍රය]
23. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදු නො වේ නම්, කර්‍මණ්‍ය ද නො වේ නම්, ප්‍රභාස්වර ද නො වේ නම්, බිඳෙනසුලු වේ නම්, මොනොවට කර්‍මයට නො පැමිණේ නම්, ස්වර්‍ණයාගේ මේ ඒ උපක්ලේශයෝ පස් දෙනෙකි.
කවර පස් දෙනෙක යත්: අයස් (කළුලෝහො) ය, ලොහොය, තුබූ (ඊයම්) ය, සීස (සුදුඊයම්) ය, රජත යි.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ ස්වර්‍ණය මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මැනැවින් කර්‍මයට නො පැමිණේ නම්, මේ ස්වර්‍ණයාගේ ඒ පඤ්ච උපක්ලේශයෝ යි.
මහණෙනි, යම් හෙයෙකින් ස්වර්‍ණය මේ පඤ්චඋපක්ලේශයෙන් මිදුනේ වේ නම්, ඒ ස්වර්‍ණය මෘදු ද කර්‍මණ්‍ය ද ප්‍රභාස්වර ද නො බිඳෙන සුලු ද වෙයි. (යමෙක්) මුඳුවකට වේ වයි, කොඬොලකට වේ වයි, ගෙලපළඳනකට වේ වයි, රන්මාලාවකට වේ වයි, යම් යම් පළඳනා වෙසෙසක් සඳහා කැමැති වේ නම්, ඒ කර්‍මයට මැනැවින් පැමිණෙයි. එ අර්‍ත්‍ථය ද (හෙ) වළඳනේ ය.
මහණෙනි, එ පරිදි ම යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම්, මේ (චාතුර්භූමක) කුශලචිත්තය පිළිබඳ එබඳු උපක්ලේශයෝ පස්දෙනෙක.
කවර පස්දෙනෙක යත්: කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා යි.
මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ නම් කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, (අරමුණෙහි) බිඳෙන සැහැවිත් වේ නම්, මොනොවට ආස්‍රවක්‍ෂය පිණිස සමාහිතත් නො වේ නම් චිත්තය පිළිබඳ මේ එබඳු උපක්ලේශයෝ පස්දෙන යි.
මහණෙනි, යම් හෙයෙකින් සිත මේ පඤ්ච උපක්ලේශයෙන් විමුක්ත වේ නම්, එ සිත මෘදුත් වෙයි, කර්‍මණ්‍යත් වෙයි, නො බිඳෙන සැහැවිත් වෙයි. ආස්‍රවක්‍ෂය පිණිස මොනොවට සමාහිත ද වෙයි. අභිඥායෙන් සාක්‍ෂාත් කටයුතු වූ යම් ම දහම්වෙසෙසක් සඳහා විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත්කරණයට සිත නැඹුරු වේ නම්, ඒ විශෙෂයෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂ (කිරීමෙහි භව්‍ය) භාවයට පැමිණෙයි.
හේ ඉදින් ‘අනේකවිධ ඍද්ධිවිධඥානය අනුභව කරන්නෙමි’යි එකක්ව ම බහුප්‍රකාරයෙන් වන්නෙමි යි ... බඹලොව්දු තෙක් කයින් වසය පවත්වන්නෙමි”යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇතිවත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.
හේ ඉදින් මිනිස්කන ඉක්ම සිටි පිරිසිදු දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂක වූ ද දුරුතන්හි වූ ද සමීපයෙහි වූ ද උභයශබ්දයන් අසන්නෙමි’යි කැමැති වේ නම්, ඒ ඒ කරුණෙහි ම ප්‍රත්‍යය ඇති වත් ම ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණේ.