5. 1. 2. 10.
[අත්තහිත - පරහිත සූත්‍රය]
20. මහණෙනි, පස් දහමෙකින් සමන්‍වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සීලසම්පන්න වෙයි. මෙරමාත් සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, මෙරමාත් සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමාත් ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්ති සම්පන්න වෙයි, මෙරමාත් විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. මෙරමාත් විමුක්තිඥානදර්‍ශනසම්පදායෙහි සමාදන් කරවයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත (බහුශ්‍රුත ක්‍ෂීණාස්‍රව) මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් වෙයි.
බලවර්‍ගය දෙ වැනි යි.
එහි උද්දානය:
අනනුස්සුත සූත්‍රය, කූට සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍රය, විත්‍ථත සූත්‍රය, දට්ඨබ්බ සූත්‍රය, පුනකූට සූත්‍රය, හිත සූත සතර දැ යි දසයෙක.
3. පඤ්චඞ්ගික වර්‍ගය
5. 1. 3. 1.
[පඨමඅගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති යටත් පැවතුම් නැති විසදෘශජීවිතවෘත්ති ඇති, එ මහණ එකැතියෙන් (වත් විසින් ප්‍රඥප්තශීලය වූ) ආභිසමාචාරික (උත්තමාචාර) ධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. (උත්තමසමාචාර සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්‍මය නො පුරා (ශෛක්‍ෂප්‍රඥප්ති ශීලසඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා (සතරමහ) සිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සිල් නො පුරා (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග්දෘෂ්ටිය නො පුරා (මාර්‍ග-ඵල) සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය (=යටත් පැවැතුම්) ඇති, සභාගවෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරික ධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සිල් පුරා සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
5. 1. 3. 2.
[දුතියඅගාරව සූත්‍රය]
22. මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති, ප්‍රතිශ්‍රය නැති, විසභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. ආභිසමාචාරිකධර්‍මය නො පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශීලස්කන්‍ධය නො පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සමාධිස්කන්‍ධය නො පුරා ප්‍රඥාස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය ඇති, සභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශීලස්කන්‍ධය පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සමාධිස්කන්‍ධය පුරා ප්‍රඥාස්කන්‍ධ්‍ය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ.