5. 1. 2. 1.
[තථාගතබල සූත්රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මම පෙර නො ඇසූ සියුසස් දහම්හි (සොළොස් කරණී විසින්) වෙසෙසින් දැන (කෘතකෘත්ය වන බැවින්) පර්ය්යවසානභාවසඞ්ඛ්යාත පරතෙර පැමිණියෙමි යි පිළිණ කරමි.
මහණෙනි, යම් බලයකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්රේෂ්ඨ ස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි සිංහනාද කරණ සේක්ද, ශ්රේෂ්ඨ ධර්මචක්රය පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ තථාගතබලයෝ (ඥානබලයෝ) පස්දෙනෙකි.
කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, හිරිබලය, අපත්රපාබලය, වීර්ය්යබලය, ප්රඥාබල යි.
මහණෙනි, යම් බලයෙකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි අභීතනාද කරණ සේක් ද, බ්රහ්මචක්රය පවත්වන සේක් ද, තථාගතයන්වහන්සේගේ එ තථාගතබලයෝ මොහු පස්දෙන වෙති.
5. 1. 2. 2.
[සේඛබලඅග්ග සූත්රය]
12. මහණෙනි, තෙල සෙඛබලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක, යත්: ශ්රද්ධාබලය, හිරිබලය, අපත්රපාබලය, වීර්ය්යබලය, ප්රඥාබලයි. මහණෙනි තුලුහු පඤ්චශෛක්ෂබලයෝ යි.
මහණෙනි, මේ පඤ්ච ශෛක්ෂබලයන් අතුරින් තෙල අග්රය තෙල (ගෝනැස් ගන්නා කූටය සෙයින්) සාඞ්ග්රාහිකය (සගන්) වේ. තෙල සන්ධි (මුළුලු) කරන්නේ වේ. හෙ කවරේ ය යත්: ප්රඥාබල යි.
මහණෙනි, යම් සේ කුළුගෙයි තෙල අග්රය වේ ද, තෙල සාඞ්ග්රාහිකය වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එ කිමෙක යත්: කූටය (මුදුන-කැණිමඬල) යි.
මහණෙනි, එ පරිදි ම මෙ පස්වැදෑරුම් සේඛබලයන් අතුරින් තෙල අග්ර වෙයි, තෙල සාඞ්ග්රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කවරේ ය යත්: ප්රඥාබල යි.
මහණෙනි, එ පරිදි ම මෙ පස්වැදෑරුම් සේඛබලයන් අතුරින් තෙල අග්ර වෙයි, තෙල සාඞ්ග්රාහික වෙයි, තෙල මුළුලු කරන්නේ වෙයි. හෙ කවරේ ය යත්: ප්රඥාබල යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. ශෛක්ෂබල වූ ශ්රද්ධා බලයෙන් සමන්වාගත වම්හ ... හිරිබලයෙන් ... අපත්රපාබලයෙන් ... වීර්ය්යබලයෙන් ... ශෛක්ෂබල වූ ප්රඥාබලයෙන් සමන්වාගත වම්හ යි මහණෙනි, මෙසේම තොප හික්මෙන්නේ ය.
5. 1. 2. 3.
[බලසඞ්ඛිත්ත සූත්රය]
13. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්:
ශ්රද්ධාබලය, වීර්ය්යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ යි.
5. 1. 2. 4.
[බලවිත්ථත සූත්රය]
14. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, වීර්ය්යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්රඥාබල යි.
මහණෙනි, ශ්රද්ධාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්යක්සම්බෝධිය හදහයි. “ඒ භාග්යවත්හු මෙ කරුණෙනුදු රහත්හ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ. භගවත්හ”යි. මහණෙනි, මේ ශ්රද්ධාබල යි කියනු ලැබේ.
මහණෙනි, වීර්ය්යබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු අකුශලධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්මයන්ගේ උපසම්පත් පිණිස රුකුළුවැර ඇතිව වෙසෙයි. ස්ථාමවත් වූයේ, දළපැරකුම් ඇතියේ, කුසල්දහම්හි නො හළ ධුර ඇතියේ වෙයි. මහණෙනි, මේ වීර්ය්යබල යි කියනු ලැබේ.
මහණෙනි, ස්මෘතිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ස්මෘතිමත් වෙයි: පරම වූ ස්මෘතිසම්ප්රඥානයෙන් සමන්වාගත වූයේ, චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරණුයේ වෙයි. මහණෙනි, මේ ස්මෘතිබල යි කියනු ලැබේ.
මහණෙනි, සමාධිබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයෙන් වෙන් ව ම ... ප්රථමධ්යානයට ... ද්විතීයධ්යානයට ... තෘතීයධ්යානයට ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධිබල යි කියනු ලැබේ.
මහණෙනි, ප්රඥාබල කවරේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි අරීසවු ප්රඥාවත් වෙයි. උදය - වය කරා යන ආර්ය්ය වූ නිබ්බේධික වූ මොනොවට දුඃඛක්ෂය කරමින් යන ප්රඥායෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මේ ප්රඥාබලය යි කියනු ලැබේ.
5. 1. 2. 5.
[බලදට්ඨබ්බ සූත්රය]
15. මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, වීර්ය්යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්රඥාබල යි.
මහණෙනි, ශ්රද්ධාබලය කොතන්හි දැක්ක යුතු ද? සතර සෝතාපත්යඞ්ගයෙහි ය. (අධිමෝක්ෂලක්ෂණ) ශ්රද්ධාබල එහි දැක්ක යුතු යි.
මහණෙනි, වීර්ය්යබල කොතන්හි දැක්ක යුතු ද? සතර සම්යක්ප්රධානයෙහි ය. (ප්රග්රහලක්ෂණ) වීර්ය්යබල එහි දැක්ක යුතු යි.