5. 1. 1. 7.
[කාමෙසුපලාළිත සූත්‍රය]
7. මහණෙනි, බෙහෙවින් ම සත්ත්‍වයෝ වස්තුකාමක්ලේශකාමයෙහි ප්‍රකර්‍ෂයෙන් ඇලුනාහ. මහණෙනි, කුලපුත් (තණකපන) දෑකැත්ත හා තණ කද තබාපියා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, ‘සැදැහැයෙන් සසුන් වන් කුලපුත්හ’යි කියන්නට නිසි වෙයි. එ කවර හෙයින යත්:
මහණෙනි, යොවුනෙන් කාමයෝ ලැබිය හෙති. ඔහුදු යම් යම් බඳු වෙති. මහණෙනි, යම් බඳු (පඤ්චහීනකුලයන්ගේ) හීනකාමයෝ වෙත් ද, යම් බඳු (මධ්‍යමසත්ත්‍වයන්ගේ) මධ්‍යමකාමයෝ වෙත් ද, යම් බඳු (රාජාදීන්ගේ) ප්‍රණීත කාමයෝ වෙත් ද, එ හැම කාමයෝ (කාමන විසින්) ‘කාමය හ’ යි ම සඞ්ඛ්‍යාවට යෙත්.
මහණෙනි, යම් පරිද්දෙකින් බොළඳ වූ, උඩුකුරුව හෝනා ලදරු කුමරෙක් කිරිමවගේ පමාදොස නිසා ලීකඩක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි බහාගන්නේ වේ නම් ධාතිතොමෝ වහවහා තෙල කරුණ මෙනෙහි කරයි. වහ වහා මෙනෙහි කොට වහ වහා එය බැහැර කරන්නී වෙයි. ඉදින් වහ වහා බැහැර කරන්නට නොහැකි වූ නම්, වමතින් හිස හම්නාගෙණ දකුණතින් වකැඟිලි කොට ලේ සහිත කොට ද බැහැර කරන්නී ය. එ කවර හෙයින යත්: මහණෙනි, කුමරහට තෙල වෙහෙස ඇත් මය, තෙල නැතැයි නො කියමි. මහණෙනි, (එහෙත්) අර්‍ත්‍ථ කැමැති හිතෛෂිණී අනුකම්පා ඇති ධාතිය විසින් අනුකම්පා පිණිස තෙල කටයුතු ම වෙයි.
මහණෙනි, යම් කලෙක පටන් ගෙණ එ කුමර යුතු පමණ පැණැති වෘද්ධයෙක් වේ ද, මහණෙනි, එ සඳ ධාතිය ඒ කුමර කෙරෙහි “දැන් කුමරු ආත්මගුප්ත වෙයි, (තෙමේ ම රැකෙයි.) ප්‍රමාදයට නො නිසි වෙති”යි අපේක්‍ෂාරහිත වෙයි.
මහණෙනි, එපරිද්දෙන් ම මහණහු විසින් යම් පමණ කල් කුශල ධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි හිරියෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, කුශලධර්‍මයෙහි අපත්‍රපායෙන් කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැය නො කරණ ලද්දේ වේ ද, මහණෙනි, මා විසින් එ මහණ එතෙක් රැකිය යුතු වෙයි.
මහණෙනි, යම් කලෙක පටන් ගෙණ මහණහු විසින් කුශලධර්‍මයෙහි ශ්‍රද්ධායෙන් කටයුතු දැ කරණ ලද්දේ වේ ද, හිරියෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, අපත්‍රපායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, වීර්‍ය්‍යයෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, ප්‍රඥායෙන් කුශලධර්‍මයෙහි කටයුතු දැ කරණ ලද්දේ වේ ද, මහණෙනි, (සෝවන්පෙලෙහි සිටුනා) එ මහණහු කෙරෙහි “දැන් මහණ ආත්මගුප්ත වෙයි. පමාවට නො නිසි වෙති”යි. අපේක්‍ෂා නැතියෙම් වෙමි යි.
5. 1. 1. 8.
[චවන සූත්‍රය]
8. මහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නොපිහිටුනේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, සැදැහැ නැති මහණ (ගුණදහමින්) ච්‍යුත වෙයි. ශාසන සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, විළිනැති මහණ ච්‍යුත වෙයි, සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් නැති මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, මැළි මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ච්‍යුත වෙයි. සද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ (ගුණෙන්) ච්‍යුත වෙයි: ශාසනසද්ධර්‍මයෙහි නො පිහිටුනේ වෙයි.