4. 6. 1.
[අභිඤ්ඤා සූත්රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ධර්මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, ප්රඥායෙන් දැන (පරිඥේය) අවබෝධ කටයුතු ධර්ම කෙනෙක් ඇත. මහණෙනි, ප්රඥායෙන් දැන ප්රහාතව්ය (ප්රහාණය කළයුතු) ධර්ම කෙනෙක් ඇත. මහණෙනි, ප්රඥායෙන් දැන භාවිතව්ය (=බැවිය යුතු) ධර්ම කෙනෙක් ඇත. මහණෙනි, ප්රඥායෙන් දැන සාක්ෂාත් කර්තව්ය (ප්රත්යක්ෂ කටයුතු) ධර්ම කෙනෙක් ඇත.
මහණෙනි, ප්රඥායෙන් දැන පරිඥෙය්ය ධර්මයෝ කවරහ: පඤ්චඋපාදානස්කන්ධයෝ යි. මහණෙනි, මේ ධර්මයෝ ප්රඥායෙන් දැන පරිඥේය (අවබෝධකටයුතු) හ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්රඥායෙන් දැන ප්රහාතව්ය ධර්මයෝ කවරහ: අවිද්යාව හා භවතෘෂ්ණා යි. මහණෙනි, මේ ධර්මයෝ ප්රඥායෙන් දැන ප්රහාතව්යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්රඥායෙන් දැන භාවිතව්ය ධර්මයෝ කවරහ: සමථය හා විදර්ශනා යි. මහණෙනි, මෙ ධර්මයෝ ප්රඥායෙන් දැන භාවිතව්යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්රඥායෙන් දැන සාක්ෂාත් කර්තව්ය ධර්මයෝ කවරහ: විද්යාව හා විමුක්ති යි. මහණෙනි, මේ ධර්මයෝ ප්රඥායෙන් දැන සාක්ෂාත් කර්තව්යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, මේ සතර ධර්මයෝ යි.
4. 6. 2.
[පරියේසනා සූත්රය]
2. මහණෙනි, මේ අනාර්ය්යයන්ගේ පර්ය්යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ම ජරාස්වභාවය ම සොයයි. තෙමේ ව්යාධිස්වභාව ඇතියේ ම ව්යාධිස්වභාවය ම සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවය ම සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ ම සඞ්ක්ලේශස්වභාවය ම සොයයි.
මහණෙනි, මේ සතර අනාර්ය්ය පර්ය්යෙෂණාවෝ යි.
මහණෙනි, මේ ආර්ය්යයන්ගේ පර්ය්යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ජරාස්වභාවයෙහි ආදීනව දැන ජරා රහිත අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය සොයයි. තෙමේ ව්යාධිස්වභාව ඇතියේ ව්යාධිස්වභාවයෙහි ආදීනව දැන ව්යාධි රහිත අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවයෙහි ආදීනව දැන මරණ රහිත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ සඞ්ක්ලේශස්වභාවයෙහි ආදීනව දැන සඞ්ක්ලේශ රහිත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය සොයයි.
මහණෙනි, මේ සතර ආර්ය්යපර්ය්යෙෂණාවෝ යි.
4. 6. 3.
[සඞ්ගහවත්ථු සූත්රය]
3. මහණෙනි, මේ සඞ්ග්රහවස්තූහ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දාන ය, ප්රියවචන ය, අර්තචර්ය්යා ය, සමානාත්මතා යි.
මහණෙනි, මොහු සතර සඞ්ග්රහ වස්තූහු යි.
4. 6. 4.
[මාලුඞ්ක්යපුත්ත සූත්රය]
4. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්යපුත්ර මහතෙරහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්යපුත්ර මහතෙරහු භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
මම භාග්යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකාකී වූයෙම් ගණසඞ්ගණිකායේන් වෙන් වූයෙම් අප්රමත්ත වූයෙම් කෙලෙස් තවන වීර්ය්ය ඇත්තෙම් ජීවිතනිරපේක්ෂක වූයෙම් වෙසෙම් ද, වහන්ස, ආයාචනා කරමි. භාග්යවතුන් වහන්සේ සැකෙවින් එබඳු දහමක් දෙසන සේක්වා යනුයි.
මාලුඞ්ක්යපුත්රය, යම් හෙයෙකින් තෝ දිරූයෙහි වයෝවෘද්ධ වූයෙහි මහලු වූයෙහි සැකෙවින් තථාගතයන්ගේ අවවාදය යදනෙහි ද, තෙල අවවාද දානයෙහි ලා දැන් තරුණ යෝගාවචරයනට කුමක් කියමෝ ද,
වහන්ස, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා. මම භාග්යවතුන් වහන්සේගේ තෙපුලෙහි අරුත් දැනගණිම් නම් මැනව, මම භාග්යවතුන් වහන්සේගේ තෙපුලට දායාද වන්නෙම් නම් මැනව.
මාලුඞ්ක්යපුත්රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ තෘෂ්ණෝත්පාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මාලුඞ්ක්යපුත්රය, මහණහට, චීවරහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්යපුත්රය, මහණහට පිණ්ඩපාතහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්යපුත්රය, මහණහට සයනාසනහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්යපුත්රය, මහණහට ඉති භවාභවහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී.
මාලුඞ්ක්යපුත්රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ සතර ඒ තෘෂ්ණෝත්පාදයෝ යි.