4. 5. 4. 7.
[සත්වන කර්‍ම සූත්‍රය]
38. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර ... [මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනඃසංස්කාර ...] මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණ ශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර] මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? ස්‍මෘතිසම්බොධ්‍යඞ්ගය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය, වීර්‍ය්‍යයසම්බෝධ්‍යඞ්ගය, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය, සමාධිසම්බෝධ්‍යඞ්ගය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කරණ ලදහ.
4. 5. 4. 8.
[සාවජ්ජ - අනවජ්ජ කර්‍ම සූත්‍රය]
39. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
සාවද්‍යකායකර්‍මයෙන, සාවද්‍යවාක්කර්‍මයෙන, සාවද්‍යමඃකර්‍මයෙන, සාවද්‍ය දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්:
අනවද්‍ය කායකර්‍මයෙන, අනවද්‍ය වාක්කර්‍මයෙන, අනවද්‍ය මනඃකර්‍මයෙන, අනවද්‍ය දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි වේ.
4. 5. 4. 9.
[සඛ්‍යාපජ්ඣ - අබ්‍යාපජ්ඣ කර්‍ම සූත්‍රය]
40. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
සදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන, සදොස් වූ දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද, එසෙයින් නිරයෙහි වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්:
නිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ මනඃකර්‍මයෙන, නිදොස් වූ දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
4. 5. 4. 10.
[සමණ සූත්‍රය]
41. මහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) මහණ ද මෙසස්නෙහිම ය. දෙවන (සකෘදාගාමී) මහණ ද මෙසස්නෙහිම ය. තෙවන (අනාගාමී) මහණ ද මෙසස්නෙහි ම ය. සිවුවන (අර්‍හත්) මහණ ද මෙසස්නෙහි ම ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් තොරයහ යි. මහණෙනි, මෙසේ මොනොවට සිංහනාද කරව.
මහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) ශ්‍රමණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන් අවිනිපාතස්වභාව ඇති නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රොතාපන්නයෙක් වේ. මහණෙනි, මේ (ප්‍රථම) ශ්‍රමණ යි.
මහණෙනි, දෙවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු බැවින් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මේ දෙවන මහණ යි.