4. 5. 1. 6.
[සවන සප්පුරිස සූත්‍රය]
6. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි … මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග් දෘෂ්ටික වෙයි ... සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 7.
[පළමුවන පාප - කල්‍යාණ සූත්‍රය]
7. මහණෙනි, පාපයාත් පාපයාට වැඩිසිටි පාපතරයාත් කල්‍යාණයාත් කල්‍යාණයාට වැඩිසිටි කල්‍යාණතරයාත් දෙසමි. ඒ අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, පාප නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා ඇත්තේ වෙයි ... මිසදිටුහ ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
මහණෙනි, පාපයා කෙරෙන් වැඩි සිටි පාපතර නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි ... තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතර යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණ (භද්‍ර) කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග් දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතරය යි කියනු ලැබේ.
4. 5. 1. 8.
[දෙවන පාප - කල්‍යාණ සූත්‍රය]
8. මහණෙනි, පාපයා ද පාපයාට වැඩිසිටි පාපතරයා ද කල්‍යාණයා ද කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාප කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු වේ ... මිථ්‍යාඥාන ඇතියේ වේ. මිථ්‍යාවිමුක්ති ඇතියේ වේ. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
මහණෙනි, පාපයාට වැඩිසිටි පාපතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතරය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණ නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වේ ... සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.