4. 3. 5. 7.
[දුතියකාල සූත්‍රය]
47. මහණෙනි, මේ කාලයෝ (කුශල ධර්‍මයෝ) සතර දෙනෙක් මොනොවට වඩනු ලබන්නාහු මැනවින් වටාලා කරණු ලබන්නාහු ක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පමුණුවත්. කවර සතර දෙනෙක යත්:
නිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි.
මහණෙනි, මේ කුශල ධර්‍මයෝ සතර දෙනා මැනවින් වඩනු ලබන්නාහු, මැනවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්.
මහණෙනි, යම් පරිදි පර්‍වතය මත දළ බිඳු ඇති වැසි වසිත් ම ඒ දිය වළ තැන් තුබූ සැටියෙන් වැටෙමින් පවුකඳුරු පැළිවළන් පුරවයි. පිරීසිටි පවු කඳුරු පැළිවළඳහු කුඩා හෙබහු පුරවත්. පරිපූර්‍ණ කුඩා හෙබහු මහහෙබ පුරවත්. පිරුණු මහහෙබහු කුඩා ගං හෝ පුරවත්. පිරුණු කුඩා ගං හෝ මහනදීන් පුරවත්. පිරුණු මහානදීහු සමුද්‍රසාගරය පුරවත්.
මහණෙනි, එ පරිදි ඒ මේ සතර කුසලධර්‍මයෝ මැනැවින් වඩනු ලබන්නාහු, මැනැවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්‍හත්ත්‍වයට පමුණුවත්.
4. 3. 5. 8.
[වචීදුච්චරිත සූත්‍රය]
48. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මෘෂාවාද ය, පිශුනවාක්‍ය ය, පරුෂවාක්‍ය ය, සම්ඵප්‍රලාප යි.
මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.
4. 3. 5. 9.
[වචීසුචරිත සූත්‍රය]
49. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි. කවර සතරහ යත්:
සත්‍යවචන ය, අපිශුනවචන ය, මොළොක් වචන ය, නුවණින් පිරිසිඳ කළ කථා යි.
මහණෙනි, මේ සතර වාග්සුචරිතයෝ යි.
4. 3. 5. 10.
[සාර සූත්‍රය]
50. මහණෙනි, මේ සාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශිලසාර ය, සමාධිසාර ය, ප්‍රඥාසාර ය, විමුක්තිසාර යි.
මහණෙනි, මේ සතර සාරයෝ යි.
ආභාවර්‍ගය පස්වැනි යි.
තෙවන පණ්ණාසකය යි.