4. 3. 4. 10.
[වාදී සූත්‍රය]
40. මහණෙනි, මේ වාදීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්?
මහණෙනි, අර්‍ත්‍ථ විසින් අවසන් කොට ගැණුමට යන ව්‍යඤ්ජන විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, ව්‍යඤ්ජන විසින් පරික්‍ෂයට යන අර්‍ත්‍ථ විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්‍ත්‍ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට යන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්‍ත්‍ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට නොයන වාදී කෙනෙක් ඇත.
මහණෙනි, මේ වාදීහු සතර දෙන යැ. මහණෙනි, සිවුපිළිසැඹියායෙන් සමන්‍වාගත මහණ අර්‍ත්‍ථ විසිනුත් ව්‍යඤ්ජන විසිනුත් පරික්‍ෂයට යේ ය යන තෙල වන්නට අකාරණ ය, අනවකාශ ය. (නො යන්නේ ම ය.)
පුද්ගලවර්‍ගය සිවුවැනි යි.
5. ආභා වර්‍ගය
4. 3. 5. 1.
[ආභා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ ආභාවෝ (විහිදෙන රශ්මීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රාභා ය, සූර්‍ය්‍යාභා ය, අග්න්‍යාභා ය, ප්‍රඥාභා යි.
මහණෙනි, මේ ආභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආභාවන් කෙරෙහි ප්‍රඥාභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 2.
[පභා සූත්‍රය]
42. මහණෙනි, මේ ප්‍රභාවෝ (දීප්ත රශ්මිහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රප්‍රභා ය, සූර්‍ය්‍යප්‍රභා ය, අග්නිප්‍රභා ය, ප්‍රඥාප්‍රභා යි.
මහණෙනි, මේ ප්‍රභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රභාවන් කෙරෙහි ප්‍රඥාප්‍රභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 3.
[ආලෝක සූත්‍රය]
43. මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රාලෝක ය, සූර්‍ය්‍යාලොක ය, අගන්‍යාලෝක ය, ප්‍රඥාලොක යි.
මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආලෝකයන් කෙරෙහි ප්‍රඥාලෝකයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 4.
[ඕභාස සූත්‍රය]
44. මහණෙනි, මේ අවභාසයෝ (බබලන්නෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රාවභාස ය, සූර්‍ය්‍යාවභාස ය, අගන්‍යවභාස ය, ප්‍රඥාවභාස යි.
මහණෙනි, මේ අවභාසයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර අවභාසයන් කෙරෙහි ප්‍රඥාවභාසයෙක් ඇද්ද, තෙල අග්‍රයි.
4. 3. 5. 5.
[පජ්ජෝත සූත්‍රය]
45. මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ (ප්‍රභාස්වරයෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රප්‍රද්‍යොත ය, සූර්‍ය්‍යප්‍රද්‍යොත ය, අගනිප්‍රද්‍යොත ය, ප්‍රඥාප්‍රද්‍යොත යි.
මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයන් කෙරෙහි ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 6.
[කාල සූත්‍රය]
46. මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
නිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි.
මහණෙනි, මේ කාලයෝ සතර දෙන වෙති.