4. 3. 3. 4.
[දුතියපුග්ගල සූත්‍රය]
24. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ඇටිඇටිසඳ සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක් ඇත් ද, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට යෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුන් හා අසාධාරණ යි.
තව ද මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාරයන් සංහිඳීමෙන් .. දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සතරවන දැහැනට සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.
4. 3. 3. 5.
[තතියපුග්ගල සූත්‍රය]
25. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ (දොම්නස්) රහිත වූ මෙත්සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ දැහැන සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇතියේ නො පිරිහුනේ කලුරිය කරමින් බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්පයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, එහැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යොනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති තාක් අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනස යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් ... ආභාස්වර දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ආභාස්වර දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්ප දෙකෙකි. ... මුදිතා සහගත සිතින් ... ශුභකෘත්සන දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ශුභකෘත්සන දෙවියන්ගේ ආයුඃප්‍රමාණය සතර කල්පයෙකි. ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතර වන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත උපේක්‍ෂා සහගත සිතින් පැහැස වෙසෙයි. හේ එය සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් වෘහතඵල දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, වෘහතඵල දෙවියන්ගේ ආයුඃප්‍රමාණය පඤ්චකල්ප ශතයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේත විෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘතග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝගයි. මේ වෙනසයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 3. 6.
[චතුත්‍ථපුග්ගල සූත්‍රය]
26. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත් සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ යම් ම එහි රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද, ඒ ධර්‍මයන් අනිත්‍ය විසින්, රෝග විසින්, ගඬ විසින්, අඝ විසින්, ආබාධ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්, අනාත්ම විසින්, නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.