4. 3. 1. 9.
[රුක්ඛ සූත්‍රය]
9. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
නිසරු රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. හර රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. නිසරු රුක් පිරිවර කොට ඇති හර රුකෙක. හර රුක් පිරිවර කොට ඇති හර රුකෙක. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනයි.
මහණෙනි, එපරිදි ම රුක්බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඵලගු පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, ඵලගු පරිවාර කොට ඇති සාර පුද්ගලය. සාර පරිවාර කොට ඇති සාර පුද්ගල යි.
මහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇති වෙයි. ඔහු පිරිස ද දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය ඵලගුපරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. උහුගේ පිරිස සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාර පරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය, ඵලගුපරිවාර කොට ඇති සාරවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි, කළණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාරපරිවාර කොට ඇති සාරවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, වෘක්‍ෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 10.
[ආසීවිස සූත්‍රය]
10. මහණෙනි, මේ ආශීවිෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
පැමිණි (එවේලෙහි) විස ඇතියේ කැකුළු (පවත්නා) විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළුවිස ඇතියේ ය. පැමිණි විස ඇතියේ කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි. මහණෙනි, මේ සතර ආශීවිෂයෝ ය.
මහණෙනි, එපරිදි ම ආශීවිශෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ ය. පැමිණි විස ඇතියේත් කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපේ. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මේ පුද්ගල පැමිණි විස නැතියේම කැකුළු විස නැතියේ ද වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, ආශීවිෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
වලාහක වර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
වලාහක දෙකය, කුම්භ-උදකරහද යන දෙකය, අම්බ, මූසික, රුක්ඛ, බලිවද්ද, ආසිවිස යන ඒ සූත්‍ර දසයෙකි. (දසයෙන් එක් සූත්‍රයෙක් මෙහි නැත.)