3. 7. 20.
[මහණෙනි, දහම් තුණෙකින් ...]
තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කම්මපථපෙය්‍යාලය නිමි.*
[8. රාගපෙය්‍යාලය]
3. 8. 1-170.
මහණෙනි, රාගයාගේ අභිඥානය (වෙසෙසින් දැනීම) පිණිස දහම්හු තුන් දෙනෙක් වැඩිය යුත්තාහ.
කවර තුන් දෙනෙක යත්:
සුඤ්ඤතසමාධිය, අනිමිත්තසමාධිය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, රාගයාගේ වෙසෙසින් දැනීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
මහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - දුරලීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස - පරිඥානය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - නෙරනා පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට ගෙණ සතුටුවූහු.
රාගපෙය්‍යාලය නිමි.
තිකනිපාත යි.
ඒකකනිපාත - දුකනිපාත - තිකනිපතයෝ සමාප්තයහ.
[උද්දාන ගාථා]
1. ඤාණසමනුපස්සනායෙන් දක්නා හෙයින් පරමවිශුද්ධදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ විසින් පවර අඞ්ගුත්තරනිකායෙහි ලා නිපාතයෝ එකොළොස් දෙනෙක් වදාරණ ලදහ. ආදිය පටන් කොට ඒ නිපාතයන් උදාන ගාථා විසින් අසව:
[ඒකකනිපාතය]
2. ස්ත්‍රීරූපය, පුරුෂරූපය, පඤ්චනීවරණසූත්‍රයෝය, අකම්මනියාදී පසය, අදන්තවිශේෂණය පටන් කොට චිත්තසූත්‍ර පසය. (මෙහි ප්‍රථම වර්‍ගයෙහි ස්ත්‍රීරූපාදී පසෙක, පුරුෂරූපාදී පසෙක යි සූත්‍ර දසයෙක, ද්වීතීයවර්‍ගයෙහි පංචනීවරණයන්ගේ උත්පාද අනුත්පාද භේදයෙන් සූත්‍ර දසයෙක, තෘතීයවර්‍ගයෙහි චිත්තයාගේ අකර්‍මණ්‍යාදි භේදයෙන් සූත්‍ර දසයෙක, චතුර්‍ත්‍ථවර්‍ගයෙහි චිත්තයාගේ අදාන්තාදී භේදයෙන් සූත්‍ර දසයෙක යි මේ හැම සමසතලිසෙක.)
3-4. සූක, පදුට්ට, රහද, ඵන්‍දන, ලාහු පරිවත්ත, පභසසර සූත්‍රයෝ ය. ආසේවති - භාවෙති - මනසිකරෝති යී තුන් සූත්‍රයෝ ය. ‘අකුසලභාගියා - කුසලභාගියා’යි ‘භාගී’ භාගයෙන් ගත් අන්‍ය සූත්‍රයෝ දෙදෙනෙක. ‘උප්පජ්ජන්ති’ ‘පරිහානි’ ‘අතත්තාය - අසම්මෝසාය’ යන පද භේදයෙන් ගත් සූත්‍රයෝ ය. පර්‍ය්‍යවසානසූත්‍රයෙහි එන ‘අනුයෝගෝ අකුසලානං’ යනාදි තෙල සතර මුඛයෝ චතුකෝටි නම් වෙති. ඔහු ‘නාහන් භික්ඛවේ’ යනාදි හැම සූත්‍රයෙහි නම් විසින් වැටෙති.
(මෙහි දසවන වර්‍ගයෙහි දෙතිස්වන සූත්‍රය අවසන් කොට හැම සූත්‍ර පැවසිනි. ‘පභස්සර’ සූත්‍රයෝ නම්: පස්වන සවන දෙවර්‍ගයෙහි අග හා මුල හා එන සතර සූත්‍රයෝ යි. ‘උප්පජ්ජන්ති’ යන ක්‍රියායෙන් ගත් සූත්‍රයෝ නම්: සවන වර්‍ගයෙහි අටවන සූත්‍රය පටන් කොට අටවන වර්‍ගයෙහි පස්වන සූත්‍රය අවසන් කොට එන සූත්‍රයෝ ය. අටවන වර්‍ගයෙහි සවන සූත්‍රය පටන් කොට පරිහාණි සූත්‍ර කියත් ම ව්‍යතිරේක වශයෙන් වුද්ධිසූත්‍රයෝත් සඞ්ගෘහීත වෙත්නු යි ඔහු එහි ම ඇතුළත් වෙති. ‘අනත්‍ථාය - අසම්මෝසාය’ යන පදභේදයෙන් ගත් සූත්‍ර රාශියෙහි දු ව්‍යතිරේකපක්‍ෂය ඇතුළත් වේ. “අනුයෝගො අකුසලානං, අනනුයොගො කුසලානං, අනුයෝගො කුසලානං, අනනුයොගො අකුසලානං” යන සතර කෙලෙක් පර්‍ය්‍යවසාන සූත්‍රයෙහි ඇත. එයින් ‘චතුකෝටි’ නමි. “නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි” යනාදි මුල කියූ සූත්‍රජාතය හැම ම එනමින් ගත් සේ කීහ. එයින් ම ඒ චතුකෝටිය සර්‍වවර්‍තතී වෙයි.)
5. ‘අධම්ම - අවිනය’ දෙපදයෙන් එන සූත්‍ර ය, ‘භාසිත - ආචිණ්න’ දෙපදයෙනුදු පස්වන ‘පඤ්ඤත්ත’ පදයෙනුදු ගත් සූත්‍රය. ‘ආපත්ති - ලහුක - දුට්ඨුල්ල’ යන පදභේදයෙන් ගත් සූත්‍ර ය. ‘සාවසේස - අනවසේස’ ආදී ක්‍රමයෙන් වෙන් කොට ගත් සූත්‍ර ය.
6. (තෙළෙස්වන වර්‍ගයෙහි මුල) ‘පුග්ගල’ පදයෙන් යුත් සූත්‍ර ය. (එහි අග) ‘සාරිපුත්ත’ පදයෙන් ගත් සූත්‍ර ය. එසෙයින්ම ‘ඒතදග්ග’ පාළියෙහි එන සූත්‍ර ය. අට්ඨානපාළි සූත්‍ර ය, ‘නිබ්බිදාය - සම්බෝධාය’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. ‘අනුප්පන්න - කුසල’ යන පෙදෙන් බිඳි සූත්‍ර ය. (මෙහි ද අනුප්පන්න අකුසල’ ආදී ව්‍යතිරේක පක්‍ෂය ද ඇතුළති)