3. 3. 4. 3.
33. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත මිත්රයා සෙවියයුතු යි.
කවර අඞ්ග තුණෙකින යත්:
නොදියහෙන දැය දෙයි. නොකටහැකි දැය කෙරේ. නොසිහියහෙන දැය සෙහේ.
මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්වාගත මිත්රයා සෙවියයුතු ය.
3. 3. 4. 4.
34. මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ අනිත්යයහ” යන ඒ ධර්මධාතුව ස්වභාවස්ථිතිතාව ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ අනිත්යයහ”යි වදාරත්, දෙසත්, පණවත්, ප්රකාරයෙන් පිහිටුවත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යන ඒ ධර්මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු ධර්මයෝ අනාත්මයහ” යන ඒ ධර්මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙත්. අභිසමය කෙරෙත්. අවබෝධ කොට අභිසමය කොට “සියලු ධර්මයෝ අනාත්මයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
3. 3. 4. 5.
35. මහණෙනි, යම් පරිදි යම් කිසි හුයින් වියූ වස්ත්රයෝ ඇද්ද, ඒ පවුරු අතුරෙන් කේසකම්බල නිකෘෂ්ටය යි කියනු ලැබේ. මහණෙනි, කේසකම්බලය ශීතකාලයෙහි ශීතය, උෂ්ණකාලයෙහි උෂ්ණය, දුර්වර්ණය, දුර්ගන්ධය, දුඃඛස්පර්ශ ඇත්තේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහත් ශ්රමණප්රවාදයෝ ඇද්ද, ඔවුනතුරෙන් මක්ඛළීවාදය නිකෘෂ්ටය යි කියනු ලැබේ.
මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ මෙබඳු වාද ඇතියේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” යි කියා යි.
මහණෙනි, අතීතයෙහි යම් ම අර්හත් සම්යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද ඒ භගවත්හුදු කර්මවාද ඇතිවූහු ද ක්රියාවාද ඇතිවූහු ද වීර්ය්යවාද ඇතිවූහු ද වූහු. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරෙයි: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” කියා යි.
මහණෙනි, අනාගතයෙහි යම් ම අර්හත් සම්යක් සම්බුද්ධ කෙනෙක් වෙත් ද ඒ භගවත්හුදු කර්මවාද ඇත්තාහු ද වෙත්. ක්රියාවාද ඇත්තාහු ද වෙත්. වීර්ය්යවාද ඇත්තාහු ද වෙත්. මහණෙනි, මක්ඛලි මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරේ: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” කියා යි.
මහණෙනි, මෙකල අර්හත් සම්යක් සම්බුද්ධ වූ මමත් කර්මවාද ඇතියෙම් ද වෙමි. ක්රියාවාද ඇතියෙම් ද වෙමි. වීර්ය්යවාද ඇතියෙම් ද වෙමි. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ මාත් පිළිකෙව් කෙරෙයි: “කර්මයෙක් නැත, ක්රියායෙක් නැත, වීර්ය්යයෙක් නැත” කියා යි.
මහණෙනි, යම් පරිදි හෝමුව කෙමිනක් බොහෝ මසුනට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්යසනය පිණිස ගිලවා තබා ද, මහණෙනි, එපරිදි ම මක්ඛලී මෝඝපුරුෂයා බොහෝ සත්ත්වයන්ට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්යසනය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනක් වැන්න.
3. 3. 4. 6.
36. මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්රද්ධාසම්පදාය, ශීලසම්පදාය, ප්රඥාසම්පදා යි.
මහණෙනි, මේ තුන් සම්පත්හු යි.