3. 3. 4. 10.
40. මහණෙනි, භද්‍ර අශ්වාජානීයයන් තුන් දෙනා දෙසමි. භද්‍ර පුරුෂාජානීයයන් තුන් දෙනා ද දෙසමි. එය අසව ...
මහණෙනි, භද්‍ර අශ්වාජානීයයෝ තුන් දෙනා කවරහ යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්න වෙයි. ... ආරෝහපරිණාහසම්පන්න නො වෙයි [...] මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. මහණෙනි, මේ තුන් වැදෑරුම් භද්‍ර අශ්වාජානීයයෝ යි.
මහණෙනි, භද්‍ර පුරුෂාජානීයයෝ තුන් දෙනා කවරහ යත්: [...]
මහණෙනි, මෙ ලොව භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. [...]
මහණෙනි, කෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා පැන පුළුවුස්නා ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහය වෙති යි කියමි. මහණෙනි, මෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, මේ තුන් භද්‍ර පුරුෂාජානීයයෝ යි.
3. 3. 4. 11.
41. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වැඩ වෙසෙති. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ...
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
3. 3. 4. 12.
42. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන. ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයෙන. අනුශාසනාප්‍රාතිහාර්‍ය්‍යයෙන.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
3. 3. 4. 13.
43. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙන.
මහණෙනි, මේ තුන් දහමින් යුක්ත වූ මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
සතරවැනි යෝධාජීව වර්‍ග යි.
[5. මඞ්ගල වර්‍ගය]
3. 3. 5. 1.
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද එපරිදි නිරයෙහි වෙයි.
කවර දහම් තුණෙකින යත්:
අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
කුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.