3. 3. 4. 1.
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත යෝධාජීව රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙලොව යෝධාජීව දුරෙහි ඊය හෙළන සුලු වෙයි. විදුලියෙන් විදින සුලු වෙයි. ලොහොපට ආදි මහත් කය බිඳින සුලු වෙයි. මහණෙනි, මේ තුන් අඟින් සමන්‍වාගත යෝධාජීව රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
මහණෙනි, එපරිදි ම අඞ්ග තුණෙකින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි ය ... ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ දූරෙපාතීත් වෙයි, අක්ඛණවේධිත් වෙයි, මහත් කය බිඳුනේත් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ දූරේපාතී වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි රූපායතනයෙක් ඇද්ද, එහැම රූප “තෙල මා ගැත්තේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මා විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි වේදනා ඇද්ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංඥා ඇද්ද, එහැම සංඥා “තෙල මාගේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංස්කාර ඇද්ද, “තෙල මාගේ නොවෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි විඥාන ඇද්ද, එහැම විඥාන “තෙල මාගේ නො වෙයි. මම හේ නො වෙමි. හේ මාගේ විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. මහණෙනි, මෙසේ මහණ දූරේපාතී වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ අක්ඛණවේධී වේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛසමුදය (දුක් උපදවන හේතු)” යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධය (දුක් නැතිවීමය)”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.
මහණෙනි, කෙසේ මහණ මහත් කය බිඳුනේ වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් අවිද්‍යාස්කන්‍ධය බිඳුනේ වෙයි. මහණෙනි, මෙසේ මහණ මහත් කය බිඳුනේ වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
3. 3. 4. 2.
32. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
නො පිළිවිස විනීත හෙයින් දුර්විනීත පර්‍ෂද්ය, පිළිවිස විනීත හෙයින් සුවිනීත පර්‍ෂද්ය, පමණ විසින් විනීත හෙයින් ප්‍රමාණවත් සේ විනීත පර්‍ෂද්ය (අදහස් දැන් විනීත පර්‍ෂද්ය).
මහණෙනි, මේ තුන් පර්‍ෂද්හු යි.
3. 3. 4. 3.
33. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු යි.
කවර අඞ්ග තුණෙකින යත්:
නොදියහෙන දැය දෙයි. නොකටහැකි දැය කෙරේ. නොසිහියහෙන දැය සෙහේ.
මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු ය.
3. 3. 4. 4.
34. මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.