3. 3. 3. 10.
30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමානය හ.
කවර තුන් දෙනෙක යත්: ශිලාලේඛාවට බඳු පුද්ගලය, පෘථිවිලෙඛාවට බඳු පුද්ගලය, ජලලේඛාවට බඳු පුද්ගල යි.
මහණෙනි, ශිලාලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ කෝපය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, යම් පරිදි ශිලාලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නොනස්නී ද, චිරස්ථායිනී වේ ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මේ ශිලාලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, පෘථිවිලෙඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය නිරතුරු ලුහු බැඳ නො වැටේ. මහණෙනි, යම් පරිදි පොළොවෙහි ඇඳි ලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නස්නී ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහු බැඳ නො වැටෙයි. මහණෙනි, මේ පෘථිවිලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, උදකලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙන් කියනු ලබන්නේත් පරුස්බසින් කියනු ලබන්නේත් මන නොගන්නා බසින් කියනු ලබන්නේත් ගැළපෙන්නේ ම වෙයි. සැසඳෙන්නේ ම වෙයි. සතුටු වන්නේ ම වෙයි. මහණෙනි, යම් පරිදි දියෙහි ඇඳි ලේඛාව වහා ම පහව යේ ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙනුදු කියනු ලබන්නේ පරුස්බසිනුදු කියනු ලබන්නේ මන නොගන්නා බසිනුදු කියනු ලබන්නේ ගැළපේ ම ය. සැසඳේ ම ය. සතුටු වේ ම ය. මහණෙනි, මේ උදකලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
තුන්වැනි භරණ්ඩු වර්‍ග යි.
[4. යෝධාජීව වර්‍ගය]
3. 3. 4. 1.
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත යෝධාජීව රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙලොව යෝධාජීව දුරෙහි ඊය හෙළන සුලු වෙයි. විදුලියෙන් විදින සුලු වෙයි. ලොහොපට ආදි මහත් කය බිඳින සුලු වෙයි. මහණෙනි, මේ තුන් අඟින් සමන්‍වාගත යෝධාජීව රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
මහණෙනි, එපරිදි ම අඞ්ග තුණෙකින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි ය ... ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ දූරෙපාතීත් වෙයි, අක්ඛණවේධිත් වෙයි, මහත් කය බිඳුනේත් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ දූරේපාතී වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි රූපායතනයෙක් ඇද්ද, එහැම රූප “තෙල මා ගැත්තේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මා විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි වේදනා ඇද්ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංඥා ඇද්ද, එහැම සංඥා “තෙල මාගේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංස්කාර ඇද්ද, “තෙල මාගේ නොවෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි විඥාන ඇද්ද, එහැම විඥාන “තෙල මාගේ නො වෙයි. මම හේ නො වෙමි. හේ මාගේ විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. මහණෙනි, මෙසේ මහණ දූරේපාතී වෙයි.