3. 3. 2. 1.
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, (බ්රහ්මචාරීප්රතිඥාභාවාදි) මේ පාපධර්ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන අපායගාමීහු වෙත්. නිරයගාමීහු වෙත්. කවර තුන් දෙනක යත්:
යමෙක් අබ්රහ්මචාරී වූයේ බ්රහ්මචාරීප්රතිඥා ඇතියේ වේ ද, යමෙක් ශුද්ධ වූ බ්රහ්මචර්ය්යය පුරන්නහු අමූලක අබ්රහ්මචර්ය්යවාදයෙන් නිගන්නේ ද, යමෙක් කාමයෙහි දෝෂයෙක් නැතැයි හේ කාමයෙහි පරිභෝග කටයුතු බවට පැමිණේ ද, මෙබඳු වාද ඇති’ මෙබඳු දෘෂ්ටි ඇති, මෙ තෙමේ ය යන තුන් දෙනයහ.
මහණෙනි, මේ පාපධර්ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන ආපායික් වෙත්. නේරයික් වෙත්.
3. 3. 2. 2.
12. මහණෙනි, තුන් දෙනෙකුන්ගේ ප්රාදුර්භාවය ලෝකයෙහි දුර්ලභය. කවර තුන් දෙනකුගේය යත්:
මහණෙනි, අර්හත් සම්යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ ප්රාදුර්භාවය ලෝකයෙහි දුර්ලභ ය. තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය දෙසන පුද්ගල ලෝකයෙහි දුර්ලභය. කෘතඥ - කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්ලභයි.
මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාගේ ප්රාදුර්භාවය ලෝකයෙහි දුර්ලභ වෙයි.
3. 3. 2. 3.
13. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයෙහි විද්යමානය හ. කවර තුන් දෙනෙක යත්: සුවසේ මිනිය හැකි පුද්ගලය, දුකසේ මිනිය හැකි පුද්ගලය, නොමිනිය හැකි පුද්ගලයි.
මහණෙනි, සුවසේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් උද්ධත වේ. ඔසොවා ලූ මානනල ඇතියේ වේ. පාත්රමණ්ඩනාදි චාපල්යය ඇතියේ වෙයි. දොඩමලු වෙයි. අසංයත වචන ඇතියේ වෙයි. මුළා සිහි ඇතියේ වෙයි. සමප්රඥාන නැත්තේ වෙයි. චිතෛතකාග්රතා නැතියේ වෙයි. භ්රාන්ත සිත් ඇතියේ වෙයි. විවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල සුප්රමේය (=සුවසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
මහණෙනි, දුක සේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලක් අනුද්ධත වෙයි. ඔසොවා ලූ මානනල නැතියේ වේ. පාත්රමණ්ඩනාදි චාපල්යය නැතියේ වෙයි. දොඩමලු නො වූයේ වෙයි. අසංයත වචන නැතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. සමප්රඥාන ඇතියේ වෙයි. සමාධිගත වූයේ වෙයි. ඒකාග්ර සිත් ඇතියේ වෙයි. සංවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල දුෂ්ප්රමේය (=දුකසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
මහණෙනි, අප්රමේය පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙසස්නෙහි අර්හත්ක්ෂීණාස්රව මහණෙක් වේ. මහණෙනි, මේ පුද්ගල අප්රමේය (නොමිනිය හැකි) පුද්ගලය යි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්යමානය හ.
3. 3. 2. 4.
14. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි විද්යමානය හ. කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්වප්රකාරයෙන් රූපසංඥාවන් සමතික්රමණය කිරීමෙන් ප්රතිඝසංඥාවන් අස්තඞ්ගම කිරීමෙන් නානාත්වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් “ආකාශය අනන්තය” යි ගෙණ ආකාශානාන්ත්යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්යානය පතයි. ඒ ධ්යානයෙන් තුෂ්ටියට පැමිණෙයි. ඒ ධ්යානයෙහි සිටියේ ඒ ධ්යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්යානයෙන් බහුල විහරණ ඇතියේ ඒ ධ්යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකාශානාන්ත්යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.