3. 3. 1. 3.
3. මහණෙනි, ඉදින් ලෝකයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් ලෝකයෙහි සත්ත්‍වයෝ ඇලෙති.
මහණෙනි, ඉදින් ලෝකයෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නො කලකිරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ කලකිරෙති.
මහණෙනි, ඉදින් ලෝකයෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ලෝකයෙහි නිස්සරණ නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් ලෝකයෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ලෝකයෙන් නිස්සරණ කෙරෙති.
මහණෙනි, යම් තාක් කල් සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දත්හු ද, මහණෙනි, ඒ තාක් සත්ත්‍වයෝ මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙන් - මහණ බමුණන් සහිත දේව - මනුෂ්‍යයන් සහිත ප්‍රජාව කෙරෙහි නිසෘෂ්ට නො වූ හ. විසංයුක්ත නො වූ හ. විප්‍රමුක්ත නො වූ හ. බුන් මියර ඇති (මිදුනු) සිතින් නො විසූහ.
මහණෙනි, යම් කලෙක සිට සත්ත්‍වයෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දත්හු ද, මහණෙනි, එ කල සිට සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා කෙරෙන් - මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන් නිසෘෂ්ට වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුක්ත වූවාහු බුන් මියර ඇති සිතින් වෙසෙත්.
3. 3. 1. 4.
4. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මා විසින් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයහ යි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයහ යි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහමණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන නො වෙසෙත්.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ලෝකයාගේ ආස්වාදයත් ආස්වාද විසින් ආදීනවයත් ආදීනව විසින් නිස්සරණයත් නිස්සරණ විසින් තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි හෝ ශ්‍රමණයහ හි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ බ්‍රාහ්මණයහ යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථ බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඵල ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙත්.
3. 3. 1. 5.
5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍ත්‍ථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.
3. 3. 1. 6.
6. මහණෙනි, කරුණු තුන් දෙනකුන්ගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. කවර තුන් දෙනකුන්ගේ ද යත්:
මහණෙනි, නිද්‍රාවගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, සුරාමේරයපානයාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, මෛථුනධර්‍මසමාපත්තියගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.
මහණෙනි, මේ තුන්දෙනාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.
3. 3. 1. 7.
7. එකල අනේපිඬු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් අනේපිඬු ගෙහෙවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ගෙහෙවිය, සිත නොරක්නා ලද කල්හි කායකර්‍මය ද නොරැකුනේ වෙයි. වාක්කර්‍මය ද නොරැකුනේ වෙයි. මනඃකර්‍මය ද නොරැකුනේ වෙයි.