3. 1. 5. 6.
46. මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වෙසෙත් ද, එහි මිනිස්සු කරුණු තුණෙකින් බොහෝ පින් ලබත්. කවර තුණෙකින යත්: කයින් ද, වචනයෙන් ද, සිතින් දැයි. මහණෙනි, සිල්වත් වූ පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වසත් නම්, එහි මිනිස්සු මේ කරුණු තුණෙන් බොහෝ පින් ලබත්.
3. 1. 5. 7.
47. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණයි.
3. 1. 5. 8.
48. මහණෙනි, ප්‍රත්‍යයයන් විසින් නො සකස්කළහු (නිර්‍වාණයා) ගේ මේ අසඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුනෙක යත්: උපත් නොපැණෙයි, ව්‍යය නොපැණෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) නො පැණෙයි. මහණෙනි, අසංස්කාර (ධර්‍මයා) ගේ මේ අසංස්කෘත ලක්‍ෂණ තුණයි.
3. 1. 5. 9.
49. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහා වෘක්‍ෂයෝ තුන් වැඩුමෙකින් වැඩෙත්. කවර තුණෙකින යත්: ශාඛායෙන් හා පත්‍ර සඞ්ඛ්‍යාත කොළපතරින් වැඩෙත්, පොතුපතරින් වැඩෙත්, එලයෙන් හා හරින් හා වැඩෙත්, මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහාවෘක්‍ෂයෝ මේ තුන් වැඩුමෙන් වැඩෙත්.
මහණෙනි, එපරිද්දෙන් ම සැදැහැති කුලදෙටුහු නිසා ඇතුළු දෙනේ තුන් වැඩුමෙකින් වැඩෙයි. කවර තුණෙකින යත්: සැදැහැයෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි, ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළු දෙනේ මේ තුන් වැඩුමින් වැඩෙයි.
48. නොගම් මහවෙනෙහි ගල්පව්වෙක් යම්බඳු වේ නම්, එය ඇසුරු කොට ගෙණ ඒ වනදෙටු වෘක්‍ෂයෝ වැඩෙත්.
49. එපරිදි ම මෙහි සැදැහැති සිල්වත් කුලදෙටුහු ඇසුරු කොට ගෙණ අඹුදරුවෝ ද, බන්‍ධුහු ද, සගයෝ ද, නෑ සමූහයෝ ද යම් අනුජීවීහු වෙත් නම්, ඔහු ද වැඩෙත්.
50. යම් විචක්‍ෂණ කෙනෙක් වෙත් නම්, ඔහු ඒ සිල්වත්හුගේ ශීලය හා ත්‍යාග්‍ය හා සුචරිත හා දක්නාහු ඔහු අනුව ක්‍රියා කෙරෙත්.
51. මෙලොව සුගතිගාමී මාර්‍ගය වන කුසල් දහම් පුරා (කර්‍මනන්‍දනායෙන්) සතුටු වූවාහු පස්කම් සැප කැමැත්තාහු දෙව්ලොව දී (විපාක මෝදනායෙන්) සතුටු වෙත්.
3. 1. 5. 10.
50. මහණෙනි, කරුණු තුණෙකින් වීර්‍ය්‍යය කට යුතුයි. කවර තුණෙකින යත්: නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නූපදීම පිණිස වීර්‍ය්‍යය කට යුතු. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කට යුතු. උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වීර්‍ය්‍යය කටයුතුය.
මහණෙනි, යම් කලෙක පටන් කොට මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයන් ඉපැත්ම පිණිස වීර්‍ය්‍යය කෙරේ ද, උපන් දුක් වූ තීව්‍ර වූ කර්‍කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වැර කෙරේ ද, මහණෙනි, මේ මහණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පාරිහාරික නුවණින් නුවණැත්තේ ස්මෘති සම්පන්න වූයේ මොනොවට දුක් නසනු පිණිස පිළිපන්නේ යි කියනු ලැබේ.
3. 1. 5. 11.
51. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ මහසොර ගෘහසන්‍ධි ද සිඳුනේයි. වොලොගැණුම් ද කරණේයි. එක් ගෙයක් පැහැර ගැණුම් ද කරණේයි. කඩපලා සොරකමෙහි ද යෙදෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමස්ථාන ඇසුරු කෙළේ ද වෙයි, වනලැහැබ් ඇසුරු කෙළේ ද වෙයි. බලවතුන් ඇසුරු කෙළේ ද වෙයි.
මහණෙනි, මහසොර කෙසේ නම් විසමතැන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙලොව්හි මහසොර නදී විදුර්‍ගයක් හෝ පර්‍වත විෂම ස්ථානයක් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර විෂමස්ථානයන් ඇසුරු කෙළේ වේ.