3. 1. 5. 10.
50. මහණෙනි, කරුණු තුණෙකින් වීර්ය්යය කට යුතුයි. කවර තුණෙකින යත්: නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස වීර්ය්යය කට යුතු. නූපන් කුශලධර්මයන්ගේ ඉපැත්ම පිණිස වීර්ය්යය කට යුතු. උපන් දුක් වූ තීව්ර වූ කර්කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වීර්ය්යය කටයුතුය.
මහණෙනි, යම් කලෙක පටන් කොට මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නූපදනා පිණිස වීර්ය්යය කෙරේ ද, නූපන් කුශලධර්මයන් ඉපැත්ම පිණිස වීර්ය්යය කෙරේ ද, උපන් දුක් වූ තීව්ර වූ කර්කශ වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවිහරණා වූ ශාරීරික වේදනාවන් ඉවසීම පිණිස වැර කෙරේ ද, මහණෙනි, මේ මහණ කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ පාරිහාරික නුවණින් නුවණැත්තේ ස්මෘති සම්පන්න වූයේ මොනොවට දුක් නසනු පිණිස පිළිපන්නේ යි කියනු ලැබේ.
3. 1. 5. 11.
51. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්වාගත වූ මහසොර ගෘහසන්ධි ද සිඳුනේයි. වොලොගැණුම් ද කරණේයි. එක් ගෙයක් පැහැර ගැණුම් ද කරණේයි. කඩපලා සොරකමෙහි ද යෙදෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමස්ථාන ඇසුරු කෙළේ ද වෙයි, වනලැහැබ් ඇසුරු කෙළේ ද වෙයි. බලවතුන් ඇසුරු කෙළේ ද වෙයි.
මහණෙනි, මහසොර කෙසේ නම් විසමතැන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙලොව්හි මහසොර නදී විදුර්ගයක් හෝ පර්වත විෂම ස්ථානයක් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර විෂමස්ථානයන් ඇසුරු කෙළේ වේ.
මහණෙනි, කෙසේ නම් මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර තණ ලැහැබ් හෝ රුක් ලැහැබ් හෝ මහවන ලැහැබ් හෝ ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහන ස්ථානයන් ඇසුරු කෙළේ වේ.
මහණෙනි, මහසොර කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජකු හෝ රජමහඇමතියන් හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් කිසිවෙක් මට කිසිවක් කියන්නේ නම්, මේ රජවරු ද රජමහඇමැතියෝ ද මාගේ දොස් සඟවා කරුණු කියන්නාහ’ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමතියෝ හෝ දොස් සඟවා (ඔහුගේ නිදොස්බවට) යුක්ති බෙණෙත්. මහණෙනි, මෙසේ මහසොර බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහසොර ගෘහසන්ධි ද සිඳුනේයි, වොලොගැන්ම ද කරණේයි, එක්ගෙයක් පැහැරගැණුම ද කරණේයි. කඩපලා සොරකම්හි ද යෙදෙන්නේයි.
මහණෙනි, එපරිද්දෙන් ම දහම් තුණෙකින් යුත් ලාමක භික්ෂු ගුණවිසින් සාළ ගුණවිසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තන් විසින් දොස් කියයුත්තෙක් ද වෙ යි. බොහෝ පව් ද ප්රසව කෙරෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙහි පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේත් ගහනස්ථාන ඇසුරු කෙළේත් බලවතුන් ඇසුරු කෙළේත් වෙයි.
මහණෙනි, පවිටු මහණ කෙසේ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂම වූ කායකර්මයෙන් යුක්ත වෙයි, විෂම වූ වාක්කර්මයෙන් යුක්ත වෙයි, විෂම වූ මනඃකර්මයෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේ වේ.
මහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහන නිඃශ්රිත වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ අන්තග්රාහිකදෘෂ්ටියෙන් යුක්ත වූයේ මිසදිටු වේ නම්, මහණෙනි, මෙසේ පවිටු මහණ ගහන නිඃශ්රිත වේ.
මහණෙනි, පවිටු මහණ කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේ ද: මහණෙනි, මෙහි පවිටු මහණ රජුන් හෝ රජමහ ඇමතියන් හෝ ඇසුරු කෙළේ වේ. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් මට කිසිවෙක් කිසිවක් කියන්නේ නම්, මේ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ මාගේ දොස් සඟවා යුක්ති බෙණෙත්. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමැතියෝ හෝ ඔහුගේ දොස් සඟවා යුක්ති බෙණෙති. මහණෙනි, මෙසේ පවිටු මහණ බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ ධර්ම තුණෙන් යුත් පවිටු මහණ ගුණවිසින් සාළ ගුණ විසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තවුන් විසින් ගැරැහිය යුත්තෙක් ද වේ. බොහෝ පව් ද ප්රසව කෙරේ යි.
පස්වන චූලවර්ගය යි.
පළමු පණස නිමි.