3. 1. 1. 3.
3. මහණෙනි, බාලයාගේ බාලාභිඥානයෝ, බාලනිමිත්තයෝ, බාලචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි බාල තෙමේ (අභිධ්‍යාදි විසින්) නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි. නපුරු බස් බණනුයේ ද වෙයි. නපුරු කර්‍ම කරණුයේ ද වෙයි. මහණෙනි, ඉදින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත්, නපුරු බස් බණන සුලුත්, නපුරු කර්‍ම කරණ සුලුත් නොවී නම්, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි කවර සැටියෙකින් ඔහු හඳුනාගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතන සුලුත් වේ ද, නපුරු බස් බණන සුලුත් වේ ද, නපුරු කර්‍ම කරණ සුලුත් වේ ද, පණ්ඩිතයෝ මේ භවත් බාල ය, අසත්පුරුෂ යයි එයින් ඔහු හඳුනන්නාහ. මහණෙනි, මොහු තුන්දෙනා බාලයාගේ බාල ලක්‍ෂණ වෙති. බාලනිමිත්ත වෙති. බාලාපදාන වෙත්.
මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ, පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතචරිතයෝ මොහු තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි පණ්ඩිත තෙම මනාසිතිවිලි සිතන සුල්ලේත්, මනාතෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණ සුල්ලේත් වෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉදින් මනා සිතිවිලි සිතන සුල්ලේත්, මනා තෙපුල් තෙපලන සුල්ලේත්, මනා කර්‍ම කරණු සුල්ලේත් නොවී නම්, කවර සැටියෙකින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගත හෙත් ද, මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත තෙමේ මනා සිතිවිලි සිතන සුල්ලේත් වේ ද, මනා තෙපුල් තෙපලන සුල්ලේත් වේ ද, මනා කර්‍ම කරණ සුල්ලේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ මේ භවත් සත්පුරුෂයෙක, පණ්ඩිතයෙකැ යි ඔහු හඳුනා ගන්නාහ. මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණයෝ, පණ්ඩිත නිමිත්තයෝ, පණ්ඩිතාපදානයෝ මොහු තුන්දෙන වෙත් යයි. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 4.
4. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: වරද වරද විසින් නො දක්නේ ද, වරද වරද විසින් දැක ඇවැතට නිසි (යථාපරාධ දණ්ඩයෙන්) පිළියම් නොකෙරේ ද, අපරාධය දෙසන මෙරමාගේ යථාධර්‍මය නො පිළිගණී ද (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත බාල තෙමේ දතයුත්තේ ය.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: වරද වරද විසින් දක්නේ ද, වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, අපරාධය දෙසන අන්‍යයාගේ අපරාධය පිළිගණී ද, (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුත්තේ ය. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 5.
5. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු ය. කවර තුණෙකින යත්: නුනුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුනුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ත්‍ථානුගතපදයෙන් මෙරමා විසින් නුවණින් විසඳන ලද ප්‍රශ්නය සතුටින් නො පිළිගණු වෙයි. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් යුක්ත වූ බාල තෙමේ දතයුතු වේ.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: නුවණින් ප්‍රශ්න කරණු වෙයි. නුවණින් ප්‍රශ්න විසඳනු වෙයි. පිරිමඬුලු සිලුටු අර්‍ත්‍ථානුගත පදව්‍යඤ්ජනයෙන් මෙරමා විසින් නුවණින් විසඳන ලද ප්‍රශ්නය සතුටින් පිළිගණු වෙයි. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
3. 1. 1. 6.
6. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: අකුශල වූ කායකර්‍මයෙන, අකුශල වූ වාක්කර්‍මයෙන, අකුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වේ.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: කුශල වූ කායකර්‍මයෙන, කුශල වූ වාක්කර්‍මයෙන, කුශල වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
3. 1. 1. 7.
7. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වේ. කවර ධර්‍ම තුණෙකින යත්: වරද සහිත වූ කායකර්‍මයෙන, වරද සහිත වූ වාක්කර්‍මයෙන, වරද සහිත වූ මනඃකර්‍මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: නිරවද්‍ය වූ කායකර්‍මයෙන, නිරවද්‍ය වූ වාක්කර්‍මයෙන, නිරවද්‍ය වූ මනඃකර්‍මයෙන. (යන තුණෙනි). මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.